තිළිණි ප්‍රියමාලි ගැන රහස් පොලීසියේ පැමිණිලි ගොඩගැසේ (වීඩියෝ)

0
Robberies of Thilini Priyamali - තිළිණි ප්‍රියමාලි ගැන රහස් පොලීසියේ පැමිණිලි ගොඩගැසේ (වීඩියෝ)

රුපියල් කෝටි ගණනක බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව සිදුකළ වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනයේත් පැමිණිලි ලැබී තිබෙනවා.

අදාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ ඒකක 5 ක් යටතේ විමර්ශණ සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලී පදනම මත ලබාගෙන සුඛෝපභෝගි කාර්යාලයක් පවත්වාගෙන යමින් ඇය මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඇය සම්බන්ධ පළමු පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ පසුගිය අගෝස්තු 27 වනදායි. මිලියන 226 කට අධික මුදලක් තමාගෙන් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී මූල්‍ය වංචාවක් සිදුකළ බවටයි එහි දැක්වුණේ.

ඇඟලුම් ආයතනයක අධ්‍යක්ෂවරයෙකු මෙම පැමිණිල්ල සිදුකර තිබූ අතර, ඒ අනුව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය මැයි 3 වනදා තම හිතවතෙකු වූ හිටපු ආණ්ඩුකාරවරයෙකුගේ නිවසට ගිය අවස්ථාවේ එහි සිටි තවත් තැනැත්තියක විසින් මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ කාන්තාව හඳුන්වාදුන් බවයි.

ඒ අනුව පළමුව මැයි 4 වනදා රුපියල් මිලියන 100 ක් සැකකාර කාන්තාව වෙත ලබාදී තිබෙනවා.

අනතුරුව තම හිතවත් හිටපු ආණ්ඩුකාරවරයා මගින් කළ දැනුම්දීම අනුව තවත් මිලියන 126 කට අධික මුදලක් සැකකාරිය වෙත ලබාදුන් බවයි පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ.

එහෙත්, පොරොන්දු වූ පරිදි එම මුදල් යළි ලබාදී නොමැති අතර විවිධ හේතුන් සඳහන් කරමින් එය කල් දමා තිබෙනවා.

පසුව තමන්ට අගරු චෙක්පත් ද ලබාදුන් බවයි ඔහුගේ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

කඩවත ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක කැඳවාගෙන විත් හැකි ඉක්මනින් මුදල් ලබාදෙන බවට සැකකාරිය ප්‍රකාශ කර ඇති අතර, එහි වගකීම අදාළ ස්වාමින් වහන්සේ භාර ගත් බව ද පැමිණිලිකරු ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව ඇය නිකුත් කළ චෙක්පත්වල ද ගිණුමෙහි මුදල් නොමැති බව තහවුරු වී ඇති අතර, තමා රවටමින් සිටින බවටයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, සංවිධානාත්මකව මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ අවශ්‍ය විමර්ශන වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය අත්අඩංගුවට ගත්තා.

ඊට අදාළව සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී ද මෙම මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

එසේම, එවැනි සිද්ධීන්ට අදාළව වෙනත් පොලිස් ස්ථාන වෙත සිදුකළ පැමිණිලිවලට අනුව තවත් නඩු කිහිපයක්ම සැකකාරියට එරෙහිව තිබෙන බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කඩවත විහාරස්ථානයක වැඩවසන හිමිනම ද, මීට සම්බන්ධදැයි සොයා බැලීමට විමර්ශන ක්‍රියාත්මක බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ.

එසේම, සැකකාර තිලිණි ප්‍රියමාලි විසින් අගරු චෙක්පත් ලබාදී සිදුකළ බව කියන වංචාවට අදාළව එම ගිණුම් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස ද මේ වනවිට අධිකරණය ඊට අදාල පෞද්ගලික බැංකුවට නියෝග කර තිබෙනවා.

අදාළ සැකකාරියට එරෙහිව තවත් ව්‍යාපාරිකයෙකු රුපියල් මිලියන 750 ක වංචාවක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා.

සුප්‍රසිද්ධ දේශපාලනඥයන් සහ කලාකරුවන් සමග සමීප සබඳතා පවත්වාගෙන යමින් සුඛෝපබෝගි ජිවිතක්ෂයක් ගත කරමින් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවටයි විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇත්තේ.