ඇමති ධුර ගත් පිරිසගේ නිදහස් පක්ෂ තනතුරු අහිමිවන ලකුණු

0
Sri Lanka Freedom Party - ඇමති ධුර ගත් පිරිසගේ නිදහස් පක්ෂ තනතුරු අහිමිවන ලකුණු

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුර සහ රාජ්‍ය ඇමති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධුර ලබා ගත් පිරිස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට පසුගියදා සංශෝධනයට ලක් කළ නිදහස් පක්ෂ ව්‍යවස්ථාවෙන් පක්ෂයේ සභාපතිවරයා, වෙත බලතල ලැබී තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායකත්වය විසින් ගනු ලබන අදාළ තීරණය පිළිබඳව දේශපාලන මණ්ඩලය වෙත ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර ලබා ගත් අතර, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න ද පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දෙනු ලැබුවා. ඔවුන්ට අමතරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ද රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා.