ශ්‍රී ලංකා කණ්ඩායමට සටන්කාමී තියුණු ජයග්‍රහණයක්

0
SL vs BAN Asia Cup - ශ්‍රී ලංකා කණ්ඩායමට සටන්කාමී තියුණු ජයග්‍රහණයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (01) පැවැති තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක් ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි පැතුම් නිෂ්ශංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

ඔවුන් දෙදෙනා එක්ව පන්දු ඕවර පහයි පන්දු 3 කදී ලකුණු 45ක් පළමු කඩුල්ල සඳහා එක්කලා.

එම සම්බන්ධතාව බිඳ වැටුණේ පැතුම් නිශ්ශංක එබොඩොට් හොසේන්ගේ පන්දුවක් හමුවේ ලකුණු විස්සකට දැවී යාමත් සමඟයි.

ඉන්පසු එක් අන්තයක කුසල් මෙන්ඩිස් හුදකලා සටනක නිරතව සිටියදී පිටියට පිවිසි ඉදිරිපෙළ පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියා.

චරිත් අසලංක එක් ලකුනකටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 11 කටත්, භානුක රාජපක්ෂ ලකුණු දෙකකටත් මෙලෙස දැවී ගියේ කුසල් මෙන්ඩිස්ගෙ කරමත වැඩි බරක් පටවමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට ගියේ ලකුණු 60 ක් ලබාගත් කුසල් මෙන්ඩිස්.

ඔහුගේ කඩුල්ල මුස්ටාෆිසුර් රෙහෙමාන් දවාගත් අතර කුසල් සිය ලකුණු 60 සඳහා 6 පහර 3ක් සහ හතරේ පහර 4ක් එල්ල කර තිබුණා.

කුසල් මෙන්ඩිස් නැවත ක්‍රීඩාගාරයට හැරී යන විට ඔහු සහ නායක දසුන් ශානක අතර පස්වන කඩුල්ල සඳහා පන්දු 34 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හත් වැනි කඩුල්ල ලෙස බිඳ වැටුනේ නායක දසුන් ශානකගේ කඩුල්ලයි.

පන්දු 33 කදී ලකුණු 45 ක් ලබා සිටි දසුන් මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

දසුන් ඔහුගේ ලකුණු 45 ට හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් එල්ල කර තිබුණා.

ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ඉතිරිව තිබූ එකම බලාපොරොත්තුවත් බිඳ වැටුනේ චාමික කරුණාරත්න ලකුණු 16 ට දුවද්දී දැවී යාමත් සමඟයි.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 9 කදී ලකුණු දාහතරක් ලබාග ගත යුතුව තිබුණා.

කෙසේ වෙතත් තරගයේ ආරම්භයට පෙරම අභිමානය සම්බන්ධයෙන් මතු වූ වාග් සංග්‍රාමය ට කදිම පිළිතුරක් සපයන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් සමත් වුනා.

සිය මංගල පන්දුවාර 20 තරගයට එක් වූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඔහු මුහුණ දුන් පන්දු තුනෙන් දෙකක්ම හතරේ සීමාව කරා පිටත් කර හරිමින්.

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහනය තීරණය කෙරුණේ දහනව වැනි පන්දු ඕවරය තෙවැනි පන්දුව නිපන්දුවක් විමත් සමගයි.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට එකතු වීම සඳහා අවස්ථාව හිමිවනවා.