මුහුදේ ගිලී පාසල් ළමුන් දෙදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් අතුරුදන්

0

දිවයිනේ ප්‍රදේශ දෙකකදී දියේ ගිලිම් හේතුවෙන් පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්වී තිබේ.

වත්තල සහ මන්නාරම ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වන බව පොලීසිය සඳහන් කළේය.

වත්තල දික්ඕවිට ප්‍රීතිපුර මුහුදු තීරයේ දියනාමින් සිටි ළමුන් පිරිසක් අතරින් ළමුන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ 15 හැවිරිදි එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

එම ළමුන් අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ස්ථානයක දියනාමින් සිට ඇති බව වාර්තා වෙයි.

පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වු ළමුන් සෙවීමේ කටයුතු වල නිරත වී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

‍මේ අතර මන්නාරම කළපුවේ මොටර් බෝට්ටුවකින් සංචාරයක නිරත වෙමින් සිටි පිරිසක් අතරින් දෙදෙනෙකු මුහුදට වැටී අතුරුදන්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ 21 හැවිරිදි සහ 27 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු එලෙස අතුරුදන්ව ඇති බවය.

අතුරුදන්වු තරුණයින් සෙවීමේ කටයුතු පොලිසිය සහ නාවික හමුදාව එක්ව ආරම්භ කර තිබේ.