වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් මහත් අන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මෙරට මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලට යුක්තිය බලාපොරොත්තු වන බොහෝ දෙනෙකු මෙම සිදුවීම විවේචනය කරමින් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබෙනු දැකිය හැකි ය.
නිදහස් කිරීමට නිර්දේශ කර ඇති චූදිතයින් කවුද?
නීතිපතිවරයා විසින් එසේ නිදහස් කිරීමට නිර්දේශ කරනු ලැබ ඇත්තේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු යුද්ධ හමුදා බුද්ධි අංශ සෙබළෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දෙදෙනෙකි.
නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහගේ අත්සනින් 2025 ජනවාරි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද ලිපියක සඳහන්ව ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල, විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන චූදිතයන්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව ය.
එම චූදිතයන් නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත දන්වන ලෙස ද නීතිපතිවරයා යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.
ලසන්ත ඝාතනයෙන් වසර 9කට පසුව ඔහුගේ රියැදුරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී රියැදුරු සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ ලසන්ත වික්‍රමතුංග අතර විරසකයක් පැවති බව ය.
ඊට හේතුව ලෙස මිග් යානා ගනුදෙනුව හෙළි කිරීම බව පවසා ඇති රියැදුරු, එය නොකියන ලෙසට තමන්ව යම් පිරිසක් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඒ අනුව, පැහැර ගැනීමට සම්බන්ධ බවට සැක පුද්ගලයින්ගේ සිතුවම් පොලිසියේ චිත්‍ර ශිල්පියෙකු විසින් අඳිනු ලැබ මාධ්‍ය වෙත මුදා හරින ලදී.
එමෙන් ම ලසන්තගේ උද්‍යාන පාලක ලෙස කටයුතු කළ තැනැත්තාගේ ප්‍රකාශයකට අනුව ලසන්ත ඝාතනය කිරීමට පෙර පැමිණි පුද්ගලයෙකු ලිපි ලේඛන කිහිපයක් ලසන්තගේ කාමරයට දමන ලෙස ලබා දී ඇති අතර උද්‍යාන පාලක එය ප්‍රතික්ෂේප කර ඇත.
උද්‍යාන පාලකගේ විස්තර අනුව ද අදාළ පුද්ගලයාගේ කටු චිත්‍ර සටහනක් ඇඳ මාධ්‍ය වෙත යොමු කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කළේ, 2016 වසරේදී ය.
ඒ හරහා ලැබුණ ඔත්තු අනුව යුද්ධ හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයෙකු වූ ප්‍රේම් ආනන්ද උදලාගමගෙන් ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
එහිදී ලසන්තගේ රියැදුරු මෙන් ම උද්‍යාන පාලක විසින් තමන්ට තර්ජනය කරන ලද්දේ අදාළ සැකකරුවා බව හඳුනාගෙන තිබිණි.
එවක ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත ය.
වසර 16ක් තුළ සිදුවූයේ කුමක් ද?
2009 ජනවාරි 08 වන දා අත්තිඩිය ප්‍රදේශයේදී මෙරට සිටි ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ ලසන්ත වික්රමතුංග ඝාතනය කළ අතර, ඔහු ඝාතනය කිරීම සම්බන්ධව මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැත.
මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්වූ පසු 2016 වසරේදී බොරැල්ල කනත්තේ තැන්පත් කර තිබූ ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩගෙන යළි විමර්ශන ආරම්භ කරන ලදී.
ඒ, ඔහු ඝාතනය කරන ලද අවිය කුමක් ද යන්න සොයා ගැනීම සඳහා බවට එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බව පවසමින් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂට එරෙහිව 2019 දී ඇමරිකාවේ අධිකරණයක නඩු පැවරීය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී පෙර පාලනය සමයට අදාළ අපරාධ සිද්ධි 7ක් සම්බන්ධව නැවත පරීක්ෂණ ආරම්භ කරන බවත්, ඊට ලසන්ත වික්රමතුංග ඝාතනය ද ඇතුළත් බවත් එවක අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක විජිත හේරත් සඳහන් කළේ ය.
‘ජනාධිපතිගෙන් ලද නිර්දේශයක් ද?’ – මාධ්‍ය සංගම් ප්‍රශ්න කරයි
ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට අදාළ සම්බන්ධ සිදුවීමක චෝදනා ලබා සිටින සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා කර ඇති නිර්දේශ ගැන ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුල හා විරෝධය පළ කර ඇත.
“රටේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස චෝදනා ලැබ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූ විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සංගම් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලද නිර්දේශ කිරීමක් නීතිපති දෙපාර්තුමේන්තුව විසින් ක්‍රියාවට නගමින් පවතින්නේ ද? යන සැකය මේ මොහොත තුළ මතුව තිබීම බරපතළ තත්ත්වයකි,” යනුවෙන් එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායකගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වේ.
‘එක සැකකරුවෙක්වත් අත්අඩංගුවට අරගෙන නැහැ’
නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට නිර්දේශ කරනු ලැබ ඇති චූදිතයන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට එරෙහිව සාක්ෂි තිබියදී බව තරුණ ජනමාධ‍්‍යවේදීන්ගේ සංගමය පවසයි.
“සෑහෙන්න සාක්ෂි තිබිලා අත්අඩංගුවට ගත්ත අය මෙහෙම නිදහස් කළා කියන්නේ ඉතා ම බරපතළ යි. මොක ද ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව, ඝාතනය කළා කියන්න මේ වෙනකම් එක සැකකරුවෙක්වත් අත්අඩංගුවට අරගෙන නැහැ,” යි එම සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක වනු ඇති බවට සැක පළ කළ ඔහු සඳහන් කළේ, පොලිසිය හොඳින් විමර්ශන කටයුතු සිදුකරනු ලැබූව ද දේශපාලන මැදිහත් වීම මත හෝ වෙන යම් හේතු මත සැකකරුවන් නිදහස් වනු ඇති බව ය.
‘නීතිපති පසුපස ඉන්නේ කවුද?’ – තරුණ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක්
“ඇත්තට ම වෙලා තියෙන්නේ මිනිස්සුන්ට යුක්තිය ගැන තියෙන විශ්වාසයත් නැති වෙන විදිහේ දෙයක් තමයි නීතිපති දෙපාර්තුමේන්තුව කරලා තියෙන්නේ.”
නීතිපතිවරයා විසින් චූදිතයන් නිදහස් කිරීමට නිර්දේශ කරමින් ලිපිය යොමු කර ඇත්තේ, ලසන්ත වික්‍රමතුංග සම්බන්ධ කතාබහට ලක්වන “කළු ජනවාරි” මාසයේ දිනක බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ ය.
“එහෙම මාසයක බය නැතුව මේ ලියුම ගහන්නේ, කවුද නීතිපති පිටිපස්සේ ඉන්න කියන එක ගැන බරපතළ සැකයක් තියෙනවා. ආණ්ඩුව ද ඉන්නේ, නැතිනම් හිටපු ආණ්ඩුවක් ද ඉන්නේ, නැත්නම් ජනාධිපතිටත් ඉහළින් වෙන කෙනෙක් ඉන්නවා ද, නැතිනම් පාරරාජ්‍ය කියන එකේ කවුරු හරි ප්‍රධානියෙක් ඉන්නවා ද, මේ නීතිපතට ලියුම් ගහන්න උපදෙස් දෙන. මෙච්චර කතාබහට ලක්වෙන වෙලාවක කොහොම ද මෙහෙම ලියුමක් නීතිපතිවරයා බය නැතුව ගහන්නේ?”
නීතිපතිට ඉල්ලා අස්වන ලෙස බලපෑම්
මෙම ලිපිය පිළිබඳව හා ඊට උපදෙස් ලබා දුන් පුද්ගලයින් ගැන නීතිපතිවරයා ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළ යුතු බවත්, එහිදී මාධ්‍යවේදීන්ට ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන අවධාරණය කළේ ය.
නීතිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට බල කරන බව ද ඔහු පැවසීය.
විමර්ශනවල වත්මන් තත්ත්වය කෙබඳු ද?
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුවන නමුත් මේතාක් ඊට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි මනතුංග බීබීසි සිංහල සේවයට පැවසීය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එම විමර්ශන අලුත් කරන බවට ආණ්ඩුව කළ ප්‍රකාශය අනුව විමර්ශන අලුත් වී ඇති දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අපි විමසීමු.
“අපට මග හැරුණ තැන් තිබුණ ද කියලා බලලා නීතිපතිගෙනුත් උපදෙස් අරගෙන ඒ විමර්ශන නව මුහුණුවරකින්, තව කට්ටිය දාලා පරීක්ෂණ වැඩිදියුණු කළා,” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.