ජපාන විදේශ ඇමති ජනපති හමුවෙයි ණය ගැන කතා කරයි

0

ජපාන විදේශ ඇමති

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ ඇමති හයාෂි යොෂිමාසා ඇතුළු දූත පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම හමුව කොළඹදී සිදු වූ බවයි. ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රියේදීයි.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රටවල් 06ක සිදු කළ නිල සංචාරයකින් අනතුරුවයි. ඔහු ඇතුළු පිරිස අද රාත්‍රියේ යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මේ අතර, ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් බවත් පැයයි විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡාවක ද නිරත වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ජපාන විදේශ ඇමති ණය ගැන කතා කරයි

අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ මෙරට බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදීය.

එහිදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සියලුම ණයදෙන රටවල් සම්බන්ධ වන විනිවිදභාවයෙන් සහ සන්සන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක වැදගත්කම තමා අවධාරණය කරන බවය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද අලුයම 1යි 44ට පමණ යළිත් දිවයිනෙන් පිටත්ව ගියා.