ශෘංගාරාත්මක සඟරාවක් ලෙස නම් දරා සිටින සුප්රකට ‘ප්ලේබෝයි’ (Playboy) සඟරාවේ කවරයේ ඡායාරූපයකට පෙනී සිටි ප්රංශයේ ඇමැතිවරියකට ඒ සම්බන්ධයෙන් විරෝධය එල්ලවෙමින් තිබේ.
මෙම ආන්දෝලනයට මැදි වී සිටින්නේ මාර්ලේන් ෂ්කියාපා නමැති ඇමැතිවරියකි.
ඇයගේ පක්ෂයේම සාමාජිකයන්ගෙන් පවා ඇයට විරෝධය පළවෙමින් ඇති බව සඳහන් වේ.
නිරූපණ ශිල්පිනියන් ඇතුළු කාන්තාවන්ගේ ශෘංගාරාත්මක නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප පළ කිරීම නිසා ප්ලේබෝයි සඟරාව පිරිමි පාඨකයන් අතර මහත් සේ ජනප්රියය.
ඇමැතිවරියගේ ඡායාරූපයට අමතරව ඇය සමග කළ පිටු 12ක සම්මුඛ සාකච්ඡාවක්ද මෙහි පළ වී තිබේ.
ඇය මෙහි කතා කරන්නේ ප්රධාන වශයෙන්ම කාන්තාවන්ගේ සහ සමරිසි ප්රජාවගේ අයිතිවාසිකම් ගැනය. සඟරාවේ පළ වී ඇත්තේ ඇය සුදු ඇඳුමකින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයකි.
ෂ්කියාපා මෙම ඡායාරූපයේ පෙනී සිටීම ගැන ප්රංශ අගමැතිනිය වන එළිසබෙත් බෝන් ද විවේචනයක් එල්ල කර තිබිණි.
මෙය සුදුසු ක්රියාවක් නොවන බවත්, විශේෂයෙන් ප්රංශය තුළ විවිධ දේශපාලනික සහ සමාජයීය අර්බුද මතුව ඇති කාලයක එය කෙසේවත් සුදුසු නොවන බවත් අගමැතිනිය පවසා තිබුණාය.
පසුගිය දිනවල ප්රංශ ජනතාව රජයට එරෙහිව වීදි බැස විරෝධතා දක්වමින් සිටි අතර එයට පසුබිම් වූයේ සේවකයන් විශ්රාම ගැනීමට අදාළ ප්රතිපත්ති සංශෝධනය කිරීම සඳහා ජනාධිපති එමානුවෙල් මැක්රොන් ක්රියාත්මක කළ වැඩපිළිවෙළකි.
ෂ්කියාපා කලෙක සිටම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන කෙනෙකි. කලක් ඇය ලිංගික සමානාත්මතාව පිළිබඳ ඇමැතිවරිය ලෙසද කටයුතු කර තිබුණාය.
තමාට එරෙහිව එල්ල වන විවේචනවලට ඇය පිළිතුරු දී තිබේ. ඇමැතිවරිය පවසන්නේ තමුන්ගේ ශරීරය පිළිබඳ කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.
විවේචකයන්ගේ සහ කුහකයන්ගේ අදහස්වලට ගරු කරන බව සඳහන් කරන අතරම ඇය පවසන්නේ ප්රංශය තුළ කාන්තාවන් නිදහස් පිරිසක් බවය.