සජිත් ප්‍රේමදාස නිසා රජයට රුපියල් මිලියන 5564කට අධික පාඩුවක්

0
සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ (2015-2019) අවිධිමත් ලෙස නිවාස ණය ලබා දීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 5564කට අධික පාඩුවක් සිදුව ඇතැයි හෙළිවෙයි. මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා එවකට නිවාස ඇමැතිවරයාව සිටි කාලයේ දී අවිධිමත් ලෙස ලබා දුන් නිවාස ප්‍රතිලාභීන් 53709දෙනකුගේ ණය සීමා කිරීමට සිදු වූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පැවැසීය. ඉන් රජයට ඉතිරි වූ මුදල රුපියල් මිලියන 7852කට අධිකවේ. වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලය තුළ නිවාස ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කර තිබේ. ආදර්ශ ගම්මාන විසිරි ණය ආධාර, වකුගඩු ආධාර, විරු සුමිතුරු ආධාර, ග්‍රාම ශක්ති, විසිරි ආධාර හා ගංවතුර ආධාර එම නිවාස වැඩසටහන් හතයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ මෙම අවිධිමත් නිවාස ණය ලබා දීම වැඩි වශයෙන් සිදුව ඇත්තේ 2018 හා 2019 වසරවල බවයි.

මෙරට පළාත් පාලන මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වූ වසර වන්නේ ද 2018 හා 2019 යි. 2019 වසරේ දී පමණක් නිවාස 62,994ක් ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ප්‍රතිපාදන වෙන්ව ඇත්තේ නිවාස 40,500ක් සඳහා පමණි.

2015 හා 2019 කාලය තුළ සජිත් ප්‍රේමදාස මහතා නිවාස 3,41,510ක් ඉදිකිරීම් ආරම්භ කර ඇතත් අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තිබුණේ නිවාස 2,33,578කට පමණි. ඒ අනුව නිවාස 1,07,932ක ඉදිරි ණය වාරික ලබා දීමට නොහැකි විය. අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම ඊට හේතුවයි.ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ විෂය භාර ඇමැතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නව ව්‍යාපෘති ආරම්භ කිරීම අත්හිටුවා පැරණි ව්‍යාපෘති අවසන් කිරීමට උපදෙස් දුන්නේය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ කාලයේ නිවාස ණය ලබාදීමේ ක්‍රියාවලිය පිළිබද පරික්ෂා කිරීමේ දී තහවුරු වූයේ එම නිවාස ප්‍රතිලාභීන්ගෙන් 53,709 දෙනකු ඒ සඳහා නුසුදුස්සන් බවයි. ඒ අනුව ඔවුන්ගේ ඉදිරි ණය වාරික අත්හිටුවීමට පියවර ගැනිණි.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම නිවාසවලින් ඉතිරි නිවාස 45,093ක් ඉදිකර අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,327කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළේය. ඒ අනුව අදියර කිහිපයක් යටතේ එම නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අමතර මෙම නිවාස ඉදිකර අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය යෝජනාව ඉදිරි අයවැයට ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සභාපතිවරයා කියයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා නිවාස ඇමැතිවරයා වශයෙන් ක්‍රියා කළ කාලය තුළ ආරම්භ කළ නිවාස ණය ලබාදීම අත්හිටුවා ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ මෙලෙස ණය සීමා කර ඇත්තේ ප්‍රේමදාස මහතා අවිධිමත් ලෙස ලබා දුන් ණය බවයි. මෙම ණය සීමා කිරීම සිදු කෙරුණේ එම ණය හිමියන්ගේ ද එකඟතාව මත බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.