අවුරුදු දෙකක දරුවෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීමට වරදකරු කෙරුණු යුවළකට මරණීය දණ්ඩනය

0
මරණීය දණ්ඩනය

දරුකමට හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක දරුවෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය ඊයේ, බ්‍රහස්පතින්දා (මාර්තු 06) මරණීය දණ්ඩනය නියම කළේ ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් එම තීන්දුව ලබා දෙන ලදී.

ඒ අනුව, මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහිම් ෆාතිමා සිෆානා යන අයට මෙසේ මරණ දඬුවම නියම විය.

දීර්ඝ නඩු විභාගයක්

2018 වසරේ මැයි මස 11 වන දා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප්‍රදේශයේදී හදා වඩා ගැනීම සඳහා ලබා ගත් අවුරුදු දෙකක පිරිමි ළමයෙකු වධ හිංසාවට ලක්කොට මරණය සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු සුජීව නිශ්ශංක කියා සිටියේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනී මැරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර ඇති බව ය.

සැකසහිත ලෙස මිය ගිය අවුරුදු දෙකක පමණ පිරිමි ළමයෙකුගේ මෘත ශරීරයක් පරීක්ෂණයකින් තොරව වළ දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය අදාළ නිවසට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදු කර ඇති ආකාරය පොලිස් සාක්ෂිවලින් අනාවරණය වූ බව විනිසුරුවරයා සඳහන් කළේ ය.

ඒ අනුව, අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරින්ට ඒ පිළිබඳව සැකයක් ඇති වීම නිසා මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් පොලිස් සාක්ෂිවලින් අනාවරණය වී තිබිණි.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම දරුවා දරුණු ලෙස වධ හිංසනයට භාජනය වී තිබූ ආකාරය වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබූ බවත් විනිසුරුවරයා පැවසීය.

ශරීරයේ විවිධ ආකාරයේ තුවාල 90ක්

මෙම දරුවාගේ දේහයේ තිබී තුවාල අනූවක් පමණ නිරීක්ෂණය වී ඇති අතර ඒවා පිළිස්සුම් තුවාල මෙන් ම පහරදීම් හේතුවෙන් ඇති වූ තුවාල බවටත් වෛද්‍ය සාක්ෂිවලින් නිගමනය කර තිබිණි.

එමෙන් ම අදාළ දරුවාගේ වෘෂණ කෝෂවලට ද දැඩි ලෙස හානි සිදුවී තිබූ බව වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය විය.

ඒ අනුව, මෙම දරුවා කෲර වද හිංසනයට භාජනය වී ඇති අතර, චේතනාන්විතව ම ප්‍රචණ්ඩත්වයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් නිරීක්ෂණය වී ඇති බවත් විනිසුරුවරයා පැවසීය.

එමෙන් ම, කාලයක් තිස්සේ වධ හිංසනයට භාජනය වී පිළිස්සුම්වලින් ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිගමනය කර තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන් විසින් මිය ගිය මෙම දරුවා කොළඹ ළමා රෝහල අසලට ම රැගෙන ගොස් ඊට ඇතුළත් නොකට ආපසු හැරී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම බරපතළ සැකයකට තුඩු දෙන කරුණක් බව ය.

අදාළ දරුවා විත්තිකරුවන් භාරයේ සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතු වී නොමැති බවත් විනිසුරුවරයා අවධාරණය කළේ ය.

සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී මිය ගිය දරුවා මෙම විත්තිකරුවන් භාරයේ ජීවත් වූ බව තහවුරු වී ඇති බැවින් ඉදිරිපත් වූ පර්වේෂණීය හා වෛද්‍ය සාක්ෂිවලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බවත් විනිසුරුවරයා තීන්දු කළේ ය.

ඒ අනුව අදාළ විත්තිකරුවන් දෙදෙනා මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් නිගමනය කළේ ය.

විත්තිකරුවන්ගේ ප්‍රකාශ

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවන් කියා සිටියේ, තමන් මෙම චෝදනාවලට නිර්දෝෂී බව ය.

තමාට තවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම දරුවා හදා වඩා ගත්තේ තම කැමැත්තෙන් බවත් විත්තිකාරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා ය.

ඒ අනුව, තමන් අදාළ චෝදනාවලට නිර්දෝෂී බව ඇය කියා සිටියා ය.

BBC News