පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට අනතුරු ඇඟෙව්වා වුවත් පාතාලය මර්ධනය කිරීමේ සටන ඉදිරියටම යනවා – පොලිස්පති

0
පොලිස් නිලධාරීන් ඝාතනය

පාතාල මර්දන ක්‍රියාවලියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට තොරතුරු පතුරවමින්, තර්ජනය කරමින් නම් ලැයිස්තු සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් බියගැන්වීම සඳහා උත්සාහ ගත්ත ද, පාතාලයට විරුද්ධව ඉදිරියට තබපු පියවර පසුපසට ගැනීමට පොලිසිය සුදානම් නොමැති අතර, පසුගිය යුද සමයේ ත්‍රස්තවාදී තර්ජන සඳහා නොබියව මුහුණ දී තම ජීවිතය පරිත්‍යාග කළා සේම වර්තමානයේ කුඩු සහ පාතාලය තුරන් කිරීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරීන් දහස් ගාණක් පොලිසිය සතුව සිටින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

එතුමන් මෙම අදහස් පල කළේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ නව දහන උඳුන මඟින් කොකේන් කිලෝග්‍රෑම් 355 ග්‍රෑම් 881 ක් දවා විනාශ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිතුමන් කියා සිටියේ, විධිමත් සැලැසුමකට අනුව මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සහ පාතාලය මර්දනය කිරීම සිදු කරන විට , පාතාලයට සම්බන්ධ සැකකරුවන් 900කට ආසන්න පිරිසකගෙන් 800 ට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, “යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර” මඟින් නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බවත්, දෙසැම්බර් මාසේ සිට මේ දක්වා කාලය තුළ ගිනි අවි 296 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ පොලිස්පතිතුමන් අවසාන වශයෙන් කියා සිටියේ පාතාලය ලෙසින් පෙනි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම යනු එකම කාසියක දෙපැත්තක් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන අතිවිශාල ධනස්කන්ධය මඟින් මෙම අපරාධකරුවන් පෝෂණය වන බැවින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහාය අවශ්‍යව ඇති බවයි යනුවෙන් පැවසීය.