ඊබ්‍රහිම් රයිසි, ඉරානයේ දැඩි මතධාරී ජනපති

0
ඊබ්‍රහිම් රයිසි

 

ඊබ්‍රහිම් රයිසි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සමීප දැඩි මතධාරී පූජකවරයෙකු වූ අතර, 2021 වසරේදී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉරාන ඉස්ලාමීය ජනරජයේ සෑම ප්‍රදේශයක ම කන්සවේටිව් (ගතානුගතික) පාලනයක් තහවුරු කළේ ය.

63 හැවිරිදි හිටපු අධිකරණ ප්‍රධානියෙකු වූ ඔහු, මධ්‍යස්ථ සහ ප්‍රතිසංස්කරණවාදී ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයින් රැසකට තහනම් පනවා තිබියදී, ඡන්දදායකයින්ගෙන් බහුතරය ඡන්දය භාවිත නොකළ ඡන්ද විමසීමකින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා හසන් රෝහානිගෙන් පසු ජනාධිපති ධූරයට පත්විය.

ඔහු බලයට පත්වූයේ, උග්‍ර ආර්ථික ගැටලු, තීව්‍ර වෙමින් පවතින කලාපීය ආතතීන් සහ ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික ගිවිසුමක් යළි සක්‍රීය කිරීම පිළිබඳ සාකච්ඡා බිඳ වැටීම ඇතුළු විවිධාකාර අභියෝග රැසකට ඉරානය මුහුණ පා සිටියදී ය.

කෙසේ වෙතත්, ඔහුගේ ජනාධිපති ධූරය දැරූ කාලයේ, එනම් 2022 වසරේදී රට පුරා පැතිර ගිය රාජ්‍ය විරෝධී විරෝධතාවලින් ඉරානය පිරී තිබුණු අතර, ඊශ්‍රායලයට එරෙහි ඉරානයේ ඡායා යුද්ධය හෙවත් ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලත් පලස්තීන කණ්ඩායමක් වන හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින වත්මන් යුද්ධය ආරම්භ වූයේ ද, එම කාලය තුළදී ය.

1980 ගණන්වල දේශපාලන සිරකරුවන් සමූහ වශයෙන් මරා දැමීමේ සිද්ධීන්හි ඔහුගේ භූමිකාව පිළිබඳ විමර්ශනයක් සඳහා බොහෝ ඉරාන ජාතිකයන්ගේ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අඛණ්ඩ ඉල්ලීම්වලට ද ඔහු මුහුණ දුන්නේ ය.

An image of Iran's President Ebrahim Raisi near a helicopter prior to crash reports
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

ඊබ්‍රහිම් රයිසි, ඉරානයේ දෙවන විශාලතම නගරය සහ එරට ශුද්ධොත්තම ෂියා මුස්ලිම් දේවස්ථානය පිහිටි මෂාඩ්හිදී 1960 වසරේදී උපත ලැබීය. පූජකවරයෙකු වූ ඔහුගේ පියා ඔහු පස් හැවිරිදි වියේදී මිය ගියේ ය.

ෂියා සම්ප්‍රදායට අනුව ඔහු මුහම්මද් නබිතුමාගෙන් පැවත එන්නෙකු ලෙස හඳුනාගෙන කළු පැහැති තලප්පාවක් හිසෙහි පැළඳ සිටි රයිසි, තම පියාගේ අඩිපාරේ යමින් වයස අවුරුදු 15දී ශුද්ධ වූ කෝම් නගරයේ සෙමනේරියකට ඇතුළත් විය.

1979 වසරේදී අයතුල්ලා රුහොල්ලාහ් කොමෙයිනි විසින් නායකත්වය දුන් අවසානයේ ඉස්ලාමීය විප්ලවයකින් පෙරළා දැමූ, බටහිර පිටුබලය ලත් ෂා අධිරාජ්‍යයාට එරෙහි විරෝධතාවලට ඔහු ශිෂ්‍යයෙකුව සිටියදී සහභාගි විය.

A Shia cleric holds up a banner showing Ayatollah Ruhollah Khomeini during Iran's 1979 Islamic Revolution
1979 විප්ලවයෙන් පසු ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත් වූ අතර අයතුල්ලා කොමේනි උත්තරීතර නායකයා විය.

විප්ලවයෙන් පසු ඔහු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අතර, 1981 වසරේදී ඉරානයේ ජනාධිපති ධූරයට පත්වූ අයතුල්ලා කමේනිගේ පුහුණුව ලබන අතරතුර නගර කිහිපයක නීතිඥයෙකු ලෙස සේවය කළේ ය.

ඉරානයේ ‘මරණ කමිටුව’ සමග පැවති සබඳතා

රයිසි, වයස අවුරුදු 25 වන විට ටෙහෙරාන්හි නියෝජ්‍ය නීතිපතිවරයා බවට පත්විය.

ඔහු එම තනතුර දරද්දී, 1988 වසරේදී පිහිටුවන ලද “මරණ කමිටුව” ලෙස හැඳින්වූ රහස් අධිකරණවල අසුන් ගත් විනිසුරුවරුන් සිව් දෙනාගෙන් කෙනෙකු ලෙස සේවය කළේ ය.

දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් සිර දඬුවම් විඳිමින් සිටි දහස් ගණන් සිරකරුවන්ගේ “නඩු නැවත විභාගයට ගැනීම” එම විනිශ්චය මණ්ඩලය විසින් සිදු කරන ලදී. ඒ අතරින් බොහෝ දෙනෙකු ඉරානයේ මහජන මුජහිදීන් සංවිධානය (PMOI) ලෙසද හැඳින්වෙන මුජහිදීන්-ඊ ඛල්ක් (MEK) වාමාංශික විරුද්ධවාදී කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

විනිශ්චය සභා මගින් මරණ දණ්ඩනයට නියම කළ පුද්ගලයින් සංඛ්‍යාව නිශ්චිතව නොදන්නා නමුත්, මානව හිමිකම් කණ්ඩායම් පවසා ඇත්තේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස පිරිමින් සහ කාන්තාවන් 5,000 ක් පමණ ඝාතනය කර සලකුණු නොකළ සමූහ මිනී වළවල්වල තැන්පත් කර ඇති බව ය.

ඉස්ලාමීය ජනරජයේ නායකයින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ බව ප්‍රතික්ෂේප නොකරන නමුත්, ඒ සම්බන්ධයෙන් විස්තර සහ එක් එක් නඩුවේ නීත්‍යනුකූලභාවය ගැන කතා නොකරයි.

Some 800 portraits of political prisoners who were executed in Iran in 1988 after displayed by representatives in France of the People's Mujahedin Organisation of Iran on the Esplanade des Invalides in Paris (29 October 2019)
ඉරානයේ විපක්ෂ ක්‍රියාකාරීන් විසින් මරණ දඬුවමට ලක්වූවෝ 2019 වසරේදී පැරිස් නුවරදී අනුස්මරණය කරනු ලැබූහ

මරණීය දණ්ඩනය නියම කිරීමේදී තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බව දිගින් දිගට ම රයිසි පැවසීය. එහෙත්, අයතුල්ලා කොමේනි විසින් පනවන ලද ෆට්වා හෝ ආගමික තීන්දු නිසා ඒවා යුක්තිසහගත බව ඔහු පැවසීය.

2016 වසරේදී, රයිසි, අධිකරණයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු සහ එවකට නියෝජ්‍ය උත්තරීතර නායක අයතුල්ලා හොසේන් අලි මොන්ටසෙරි (1922-2009) අතර 1988 වසරේදී පැවති රැස්වීමක හඬ පටයක් අනාවරණය විය.

එම හඬ පටයෙහි, මොන්ටසෙරි මරණ දණ්ඩනය විස්තර කරන්නේ, “ඉස්ලාමීය ජනරජ ඉතිහාසයේ විශාලතම අපරාධය” ලෙස ය. වසරකට පසුව මොන්ටසෙරිට කොමේනිගේ නම් කරන ලද අනුප්‍රාප්තිකයා තනතුර අහිමි වූ අතර කොමේනිගේ මරණයෙන් පසු අයතුල්ලා කමේනි උත්තරීතර නායකයා බවට පත්විය.

සමූහ වශයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ ඔහුගේ භූමිකාව ගැන 2021 වසරේදී විමසූ විට, රයිසි මාධ්‍යවේදීන්ට මෙසේ පැවසීය: “විනිසුරුවරයෙකු, නීතිඥයෙකු, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරල තියෙනවා නම්, ඔහුට ප්‍රශංසා කළ යුතු යි… මා මෙතෙක් දැරූ සෑම තනතුරක ම මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන මම ආඩම්බර වෙනවා.”

අනපේක්ෂිත ජනපති අභිලාෂ

2017 වසරේදී, රයිසි ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමෙන් නිරීක්ෂකයින් මවිතයට පත් කළේ ය.

සමකාලීන පූජකවරයෙකු වූ රෝහානි, මැතිවරණයේ පළමු වටයේදී 57%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශාල ඡන්ද සංඛ්‍යාවකින් දෙවන වරටත් ජයග්‍රහණය කළේ ය. දූෂණ විරෝධී සටන්කරුවෙකු ලෙස පෙනී සිටි නමුත් නියෝජ්‍ය අධිකරණ ප්‍රධානියා ලෙස අල්ලස් ගැනීම් නතර කිරීමට නිසි පියවර නොගත් බවට ජනාධිපතිවරයාගේ චෝදනාවට ලක් වූ රයිසි 38%ක් ලබා දෙවන ස්ථානයට පත්විය.

මෙම පරාජය රයිසිගේ ප්‍රතිරූපයට කැළලක් නොවූ අතර, 2019 වසරේදී අයතුල්ලා කමේනි ඔහු අධිකරණ ප්‍රධානියාගේ බලවත් තනතුරට නම් කළේ ය.

ඊළඟ සතියේදී, ඔහු මීළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීම සඳහා වගකිව යුතු සාමාජිකයින් 88 දෙනෙකුගෙන් යුත් පූජක මණ්ඩලය වන විද්වතුන්ගේ සභාවෙහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ද තේරී පත් විය.

අධිකරණ ප්‍රධානියා ලෙස රයිසි, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ අතර එය රට තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වූ සහ මරණ දඩුවමට ලක්කෙරෙන පුද්ගලයින් සංඛ්‍යාත්මකව අඩු කිරීමට හේතු විය. කෙසේ වෙතත්, ඉරානය චීනය හැර වෙනත් ඕනෑ ම රටකට වඩා වැඩි පිරිසක් මරණයට පත් කළේ ය.

ඔත්තු බැලීමේ චෝදනා මත ද්විත්ව පුරවැසිභාවය හෝ විදේශීය ස්ථිර පදිංචිය ඇති බොහෝ ඉරාන ජාතිකයින්ට එරෙහිව නඩු පැවරීමට අධිකරණය, ආරක්ෂක අංශ සමග දිගින් දිගට ම කටයුතු කළේ ය.

මානව හිමිකම් පිළිබඳ වාර්තා මත පදනම්ව 2019 වසරේදී, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රයිසිට එරෙහිව සම්බාධක පැනවීය. 2009 වසරේ මතභේදයට තුඩු දුන් ජනාධිපතිවරණයෙන් පසු විරුද්ධ පක්ෂය නියෝජනය කළ හරිත ව්‍යාපාරයේ විරෝධතාවලට එරෙහිව එල්ල වූ ප්‍රචණ්ඩකාරී මර්දනයට සම්බන්ධ වූ බවටත්, අපරාධ සම්බන්ධයෙන් බාලවයස්කාර පුද්ගලයන් මරණීය දණ්ඩනයට ලක් කිරීම සම්බන්ධයෙන් පරිපාලන අධීක්‍ෂණයක් දැරූ බවටත් ඔහුට චෝදනා එල්ල විය.

Supporters of Iranian presidential candidate Ebrahim Raisi hold pictures of him at an election rally in Eslamshahr, Iran (6 June 2021)
2021 වසරේ ජනාධිපතිවරණ රැලිවලදී රයිසි තමන්ව හඳුන්වා දුන්නේ, දූෂණ විරෝධී සටන්කරුවෙකු ලෙස ය

2021 ජනාධිපතිවරණය සඳහා තම අපේක්ෂකත්වය ප්‍රකාශ කරමින්, රයිසි පැවසුවේ, “රටේ විධායක කළමනාකාරිත්වයේ වෙනස්කම් කිරීමට සහ දරිද්‍රතාව, දූෂණය, අපහාස කිරීම් සහ වෙනස්කොට සැලකීමට එරෙහිව සටන් කිරීමට තමා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ,” බව ය.

දැඩි මතධාරී භාරකා කවුන්සිලය විසින් ප්‍රමුඛ පෙළේ මධ්‍යස්ථ සහ ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසු එම ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වයට බලපෑම් එල්ල විය. විරුද්ධවාදීන් සහ ඇතැම් ප්‍රතිසංස්කරණවාදීන් ඡන්දය වර්ජනය කරන ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටි අතර, රයිසිට එරෙහිව බරපතළ තරගයක් ඇති නොවීම සහතික කිරීම සඳහා එම ක්‍රියාවලිය සැලසුම් කර ඇති බවට ඔවුහු චෝදනා කළහ.

ඔහු පළමු වටයේදී 62%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත්තේ ය. කෙසේ වෙතත්, ඡන්දය ප්‍රකාශ කිරීම 49%ට වඩා අඩු වූ අතර, 1979 විප්ලවයෙන් පසු ජනාධිපතිවරණයක් සඳහා වාර්තා වූ අඩු ම අගය එය විය.

එම වසරේ අගෝස්තු මාසයේදී ඔහු සිය සිව් අවුරුදු ධුර කාලය ආරම්භ කරන විට, රයිසි පොරොන්දු වූයේ, “ජාතියේ ගැටලු විසඳීම සඳහා ආර්ථිකය වැඩිදියුණු කිරීමට” සහ සම්බාධක ඉවත් කිරීමට තුඩු දෙන “ඕනෑ ම රාජ්‍ය තාන්ත්‍රික සැලැස්මකට සහය වන,” බවට ය.

ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීම සදහා 2015 වසරේ ඇති කර ගත් ගිවිසුම නැවත පණ ගැන්වීම පිළිබඳ දීර්ඝ කාලීන සාකච්ඡා සම්බන්ධයෙන් ඔහු කතා කළේ ය. 2018 වසරේදී ට්‍රම්ප් පරිපාලනය එය අත්හැර දමා ඇමෙරිකානු ආර්ථික සම්බාධක නැවත ස්ථාපනය කිරීමෙන් පසු එම ගිවිසුම බිඳ වැටීමට ආසන්නව පවතී. ඉරානය එතැන් සිට සීමාවන් වැඩි වැඩියෙන් උල්ලංඝණය කරමින් පළිගැනීම් කර තිබේ.

ඉරානයේ අසල්වැසි රටවල් සමග සබඳතා වැඩිදියුණු කිරීමට ද රයිසි ප්‍රතිඥා දුන් අතර, ඒ සමග ම එහි කලාපීය ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමට ද පොරොන්දු වූයේ, එම ක්‍රියාකාරකම් “ස්ථායීකරණයේ බලවේගයක්” ලෙස විස්තර කරමිනි.

රයිසිගේ දැඩි ස්ථාවරය නොතකා, න්‍යෂ්ටික ගිවිසුම පුනර්ජීවනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග පැවති ගිවිසුමට 2022 අගෝස්තු මාසයේදී එකඟතාව පළ වූ බව වාර්තා විය. කෙසේ වෙතත්, එම උත්සාහයන් ඉරානයේ ක්‍රියාවන් නිසා අසාර්ථක විය.

ආණ්ඩුවට එරෙහි විරෝධතාවලින් ඉරානය දෙදරයි

එම වසරේ සැප්තැම්බර් මාසයේදී, පූජකවරුන්ගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා පැවති මහජන විරෝධතාවලින් ඉස්ලාමීය ජනරජය දෙදරා ගියේ ය.

“නොහොබිනා” ලෙස හිජාබය පැළඳ සිටි බවට චෝදනා කරමින් ටෙහෙරාන් නුවර සදාචාරාත්මක පොලිසිය විසින් රඳවාගෙන සිටි තරුණ කාන්තාවක් වන මහ්සා අමිනී අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීමෙන් පසු “ස්ත්‍රිය, ජීවිතය, නිදහස” ව්‍යාපාරය විසින් දැඩි විරෝධතා මාලාවක් ආරම්භ කළේ ය. ඇයට අයුතු ලෙස සැලකූ බව බලධාරීන් ප්‍රතික්ෂේප කළ නමුත්, එක්සත් ජාතීන්ගේ තොරතුරු සෙවීමේ මෙහෙයුමකින් ඇය “මරණයට තුඩු දුන් ශාරීරික හිංසනයට ලක් වූ” බව සොයා ගැනිණි.

Protesters, including a woman with uncovered hair, block a road during a protest over the death in custody of Mahsa Amini, in Tehran, Iran (1 October 2022)
රයිසි ජනාධිපති වී වසරක් ගතවීමෙන් පසුව, පූජක පාලනයට එරෙහිව කාන්තාවන් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් ඉරානය කැළඹී ගියේය.

නොසන්සුන්තාව හමුවේ “වගකීම්සහගතව කටයුතු කරන” බවට රයිසි පොරොන්දු වූ අතර, බලධාරීන් එම විරෝධතා බලහත්කාරයෙන් මර්දනය කළේ ය. රජය නිල වශයෙන් මරණ සංඛ්‍යාවක් නිකුත් කර නැතත්, එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය පැවසුවේ, විශ්වාස කළ හැකි සංඛ්‍යාලේඛනවලට අනුව විරෝධතාකරුවන් 551 දෙනෙකු පමණ ආරක්ෂක හමුදා විසින් මරා දමනු ලැබූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු වෙඩි තැබීම්වලින් මිය ගිය බව ය. රජය පවසන්නේ, ආරක්ෂක අංශ සාමාජිකයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.

තවත් විරෝධතාකරුවන් 20,000කට වැඩි පිරිසක් රඳවාගෙන සිටි බව වාර්තා වූ අතර, තරුණ පිරිමි විරෝධතාකරුවන් 9 දෙනෙකු ඝාතනයට ලක්වූයේ වධහිංසාව යටතේ ලබා ගත් පාපොච්චාරණ මත පදනම් වූ ක්‍රියා හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය විසින් සොයා ගන්නා ලදී.

අවසානයේදී විරෝධතා පහව ගිය ද, පූජක පාලනය සහ හිජාබ් නීති සම්බන්ධයෙන් පුළුල්ව පැතිරුණු අතෘප්තිය අඛණ්ඩව පැවතිණි. ඉරානයේ පාර්ලිමේන්තුවේ සහ රයිසිගේ නව නීති සම්පාදනය සහ නව මර්දනයන්ට මුහුණ දීමට ගත් උත්සහයක් ලෙස බොහෝ කාන්තාවෝ සහ ගැහැනු දරුවෝ ප්‍රසිද්ධ ස්ථානවල තම හිසකෙස් ආවරණය කිරීම නතර කළහ.

කලාපීය ආතතිය වැඩි වෙයි

2023 මාර්තු මාසයේදී, ඉරානයේ කටුක ප්‍රතිවාදියා වූ කලාපීය සුන්නි බලවතා වන සෞදි අරාබිය සමග විස්මය දනවන සහයෝගීතාවකට ඔහුගේ රජය එකඟ වූයේ, ඔවුන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හැරීමෙන් වසර හතකට පසුව ය.

එහෙත්, ඔක්තෝබර් මාසයේදී හමාස් සංවිධානය විසින් දකුණු ඊශ්‍රායලයට නොසිතූ විරූ දේශසීමා ප්‍රහාරයක් එල්ල කළ විට, කලාපීය ආතතීන් උත්සන්න වූ අතර ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ පුළුල් මිලිටරි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය.

ඒ අතරම, ඉරානයේ මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් සහ මැද පෙරදිග පුරා ක්‍රියාත්මක වන නියෝජිත සන්නද්ධ සංවිධාන ජාලය (ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති සහ ඉරාකයේ සහ සිරියාවේ විවිධ සන්නද්ධ කණ්ඩායම්) පලස්තීනය සමග ඇති සහයෝගිතාව ප්‍රදර්ශනය කිරීම සදහා ඊශ්‍රායලයට එරෙහිව ඔවුන්ගේ ප්‍රහාර සැලකිය යුතු ලෙස බලවත් කළේ ය.

ඉරානය, ඊශ්‍රායලයට එරෙහිව සිය ප්‍රථම සෘජු මිලිටරි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු, කලාපීය යුද්ධයක් ඇති වනු ඇතැයි යන බිය අප්‍රේල් මාසයේදී වර්ධනය විය.

සිරියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 300කට වැඩි සංඛ්‍යාවක් එල්ල කිරීමේ තීරණයට රයිසි සහය දැක්වීය. එම ප්‍රහාර සියල්ල ම පාහේ ඊශ්‍රායලය, බටහිර පාර්ශවකරුවන් සහ අරාබි හවුල්කරුවන් විසින් වෙඩි තබා විනාශ කරන ලදී. දකුණු ඊශ්‍රායලයේ ගුවන් කඳවුරකට පමණක් සුළු හානියක් සිදු විය.

Iranian President Ebrahim Raisi inspects military equipment at a Revolutionary Guards naval site in Bandar Abbas, Iran (2 February 2024)
අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලයට එල්ල කළ සෘජු මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරය හරහා ඉරානයේ “අයෝමය අධිෂ්ඨානය” පෙන්නුම් කළ බව රයිසි පැවසීය

සංයමයෙන් සිටින ලෙස බටහිර රටවල් කළ ඉල්ලීමෙන් පසුව, ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඉරාන ගුවන් හමුදා කදවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමිනි.

රයිසි එම ප්‍රහාරයේ වැදගත්කම අවතක්සේරු කළ අතර, ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරය “අපේ ජාතියේ අයෝමය අධිෂ්ඨානය පෙන්නුම් කිරීමක්,” බව පැවසීය.

ඉරිදා, ඔහු පියාසර කළ හෙලිකොප්ටරය වයඹ දිග ඉරානයට කඩා වැටීමට පැය කිහිපයකට පෙර, රයිසි පලස්තීනුවන්ට ඉරානයේ සහයෝගය අවධාරණය කරමින් ප්‍රකාශ කළේ, “පලස්තීනය මුස්ලිම් ලෝකයේ පළමු ප්‍රශ්නය” බව ය.

රයිසිගේ බිරිඳ ජමීලේ ටෙහෙරානයේ ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක වන අතර ඔහුට වැඩිහිටි දියණියන් දෙදෙනෙකු සිටි බව හැරුණුකොට ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැත. ඔහුගේ බිරිඳගේ පියා වූ දැඩිමතධාරී අයතුල්ලා අහමඩ් අලමොල්හෝදා, මෂාඩ්හි සිකුරාදා යාච්ඤා මෙහෙයවන්නෙකු විය.

BBC News