ඔස්කාර් සම්මාන උළෙලේ වාර්ථා රැසක්. ඕපන්හයිමර් ආධිපත්‍යය පතුරුවයි.

0
ඔස්කාර් සම්මාන උළෙලේ

ඕපන්හයිමර් ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන රැසක් හිමි කරගත් චිත්‍රපටය බවට පත්වද්දී කිලියන් මර්ෆි හොඳ ම නළුවා සම්මානය දිනාගත් පළමු අයර්ලන්ත ජාතිකයා බවට පත් වී තිබේ.

මෙම චිත්‍රපටය සම්මාන උළෙලේ ආධිපත්‍යය දැරුවේ හොඳ ම චිත්‍රපටය, හොඳ ම අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝෆර් නෝලන් සහ හොඳ ම සහය නළුවා රොබට් ඩව්නි ජූනියර් විසින් දිනා ගනු ලැබීමත් සමග ය.

මර්ෆි හොඳ ම නළුවා ලෙස නම් කරනු ලැබුවේ, න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ජේ. රොබට් ඕපන්හයිමර් ලෙස ඔහු ඉදිරිපත් කළ ප්‍රශංසනීය නිරූපණය සඳහා ය.

සිය ජයග්‍රහණය පිළිබඳව “මහත් සතුටට” පත්ව සිටින බව ඔහු පැවසුවේ: “මම අද රාත්‍රියේ මෙහි සිටගෙන සිටින ඉතා ආඩම්බර අයර්ලන්ත ජාතිකයෙක්” යැයි ද සඳහන් කරමිනි.

ඔහු නෝලන්ට සහ නිෂ්පාදක එමා තෝමස්ට ස්තුතිය පුද කළේ, “ඔබ මා ගෙන ගිය තැතිගන්වනසුලු, අතිශය ප්‍රමෝදමත්, නිර්මාණාත්මකව තෘප්තිමත් ගමන” ලෙස සඳහන් කරමිනි.

තමන් වෙත “සහය ලබා දුන් සමස්ත කාර්ය මණ්ඩලයට මෙන් ම නළු-නිළි පිරිසට ද” මර්ෆි සිය ගෞරවය පුද කළේ ය.

ඔහු මෙසේ සිය [ජයග්‍රාහී] කතාව අවසන් කළේ ය: “පරමාණු බෝම්බය නිර්මාණය කළ මිනිසා ගැන අපි චිත්‍රපටයක් නිර්මාණය කළා. හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන් [බෝම්බය], අපි හැම කෙනෙකු ම ජීවත් වෙන්නේ ඕපන්හයිමර්ගේ ලෝකයේ, ඒ නිසා මම මේ සම්මානය සෑම කොනක ම ඉන්න සාමය ඇති කිරීම වෙනුවෙන් කැපවෙන මිනිසුන් වෙනුවෙන් පුද කරන්න කැමතියි.”

ඕපන්හයිමර් සඳහා හොඳ ම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ මර්ෆි පැවසුවේ, ඔහු "අද රාත්‍රියේ මෙහි සිටගෙන සිටින ඉතා ආඩම්බර අයර්ලන්ත ජාතිකයෙකු" බව ය
ඕපන්හයිමර් සඳහා හොඳ ම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ මර්ෆි පැවසුවේ, ඔහු “අද රාත්‍රියේ මෙහි සිටගෙන සිටින ඉතා ආඩම්බර අයර්ලන්ත ජාතිකයෙකු” බව ය

ඕපන්හයිමර්හි එක්සත් ජනපද රජයේ නිලධාරියෙකු වන ලුවිස් ස්ට්‍රෝස්ගේ චරිතය වෙනුවෙන්, ඩව්නි ජූනියර් හොඳ ම සහය නළුවා ලෙස සම්මාන ලැබී ය.

සම්මානය පිළිගනිමින් ඔහු හාස්‍යජනක ලෙස පැවසුවේ: “මම කැමතියි, පිළිවෙලින්, මගේ අසුන්දර ළමා කාලයට සහ ඇකඩමියට ස්තුති කරන්න.

“රස්සාවට මාව අවශ්‍ය වුණාට ත් වඩා මට මේ රස්සාව අවශ්‍ය වුණා,” ඔහු තවදුරටත් පැවසීය. “අන්න ඒ නිසා තමයි හොඳ මිනිහෙක් විදිහට ඔබ ඉදිරියේ හිටගෙන ඉන්නේ.”

ඔහු තම බිරිඳ සූසන් ඩව්නිට සිය කෘතඥතාව පළ කළේ ය. ඇය තමා “ජීවිතයේ අපහසු කාල පරිච්චේදයක් ගත කරමින්” සිටි අවධියේ සොයා ගත් බව ඔහු පැවසුවේ, ඇයගේ “ආදරය මාව ජීවත් කළ නිසයි මම අද මෙතන ඉන්නේ,” යැයි ද සඳහන් කරමිනි.

මාර්වල් අයන් මෑන් ලෙසින් ප්‍රසිද්ධියට පත් ඩව්නි ජූනියර්, දශක දෙකකට වඩා වැඩි කලකට පෙර බරපතළ ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිට පසුව අතිසාර්ථක ලෙස හොලිවුඩ් සිනමාව වෙත නැවතත් ප්‍රවිෂ්ඨ විය. අධිකරණය විසින් නියම කරන ලද මත්ද්‍රව්‍ය පරීක්ෂණ මග හැරි ඔහුට සිර දඬුවම් පවා විඳීමට සිදු විය.

ඔහු සිය කතාව අවසන් කළේ රැස්ව සිටි පිරිසට මෙසේ පවසමිනි: “අපි කරන දේ අර්ථාන්විත යි වගේ ම අපි කරන්න තීරණය කරන දේ වැදගත්.”

සම්මාන උළෙල මෙහෙය වූ ජිමී කිමල් නළු නිළියන් හා චිත්‍රපට කාර්ය මණ්ඩලය වෙත සරදම් කළේ, චිත්‍රපටයේ සාර්ථකත්වය හමුවේ ඔවුන් එය”මධුවිතින් සමරමින් සිටි” බව පවසමිනි.

හොඳ ම අධ්‍යක්ෂකවරයාට හිමි සිය පළමු ඔස්කාර් සම්මානය පිළිගන්නා අවස්ථාවේ නෝලන් මෙසේ පැවසීය: “මගේ මුළු ජීවිතය පුරාවට ම මා ගැන විශ්වාස කළ, මා වෙනුවෙන් සිටි අයට ස්තූතියි.”

ඇකඩමිය අමතමින් ඔහු මෙසේ පැවසීය: “චිත්‍රපට අවුරුදු 100කට වඩා ටිකයි වයස, අපි දන්නේ නෑ මේ ඇදහිය නොහැකි ගමන මෙතැන් සිට යන්නේ කොතැනට ද කියලා. ඒත් මාත් ඒකෙ අර්ථවත් කොටසක් කියලා ඔබ හිතනවා කියල දැනෙද්දී, ඒක මට ලෝකයක් තරම් වටිනවා.”

තරමක් අතරමං වූ ස්වභාවයක් පෙන්නුම් කළ අල් පචීනෝට රාත්‍රියේ ඉහළ ම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස ඕපන්හයිමර් ප්‍රකාශයට පත් කිරීමට පෙර, හොඳ ම චිත්‍රපටය සඳහා නිර්දේශ වූ චිත්‍රපට 10 හඳුන්වා දීමට අමතක වූ බවක් පෙනී ගියේ ය.

ත්‍යාගය පිළිගනිමින් නිෂ්පාදක එමා තෝමස් මෙසේ පැවසුවා ය: “මම හිතන්නේ චිත්‍රපට හදන අපි කවුරුත් මේ මොහොත ගැන සිහින දකිනවා. නමුත් ඒක කිසිදාක සැබෑවට ම සිදු වේවි කියලා හිතුනේ නැහැ.”

ඕපන්හයිමර් චිත්‍රපටය හොඳ ම සංස්කරණය, හොඳ ම සංගීත නිර්මාණය සහ හොඳ ම කැමරාකරණයට හිමි සම්මාන ද දිනා ගත්තේ ය. කෙසේ වෙතත්, වාර්තාගත ජයග්‍රහණ සංඛ්‍යාවක් ලැබීමට තිබුණු අවස්ථාව ගිලිහෙමින් එයට අනෙක් තාක්ෂණික අංශවල සම්මාන අහිමි විය.

එමා ස්ටෝන් හොඳ ම නිළිය සඳහා වන සිය දෙවන ඔස්කාර් සම්මානය දිනා ගත්තේ 2017 වසරේ 'ලා ලා ලෑන්ඩ්' චිත්‍රපටය වෙනුවෙන් ඇය ලද ජයග්‍රහණයෙන් පසුව ය
එමා ස්ටෝන් හොඳ ම නිළිය සඳහා වන සිය දෙවන ඔස්කාර් සම්මානය දිනා ගත්තේ 2017 වසරේ ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටය වෙනුවෙන් ඇය ලද ජයග්‍රහණයෙන් පසුව ය

ඒ වෙනුවට, අසාමාන්‍ය ‘ස්ටීම්පන්ක්’ ශානාරයේ චිත්‍රපටයක් වන පුවර් තින්ග්ස් හොඳ ම නිෂ්පාදන සැලසුම්කරණය, හොඳ ම ඇඳුම් නිර්මාණය, හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් සඳහා වන සම්මාන මෙන් ම එමා ස්ටෝන් සඳහා හොඳ ම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ ය.

යෝර්ගෝස් ලැන්තිමෝස්ගේ මෙම චිත්‍රපටය වැඩිහිටි කාන්තාවකගේ ශරීරයකට සිය මොළය බද්ධ කර ඇති ළදරුවෙකු ලොව පුරා දේවල් සොයා වික්‍රමාන්විත ගමනක යෙදීම පිළිබඳව කියැවේ.

“මේක ඇත්තෙන් ම අතිශය සතුටුදායක අවස්ථාවක්,” ස්ටෝන් ඇගේ කතාවේදී පැවසීය. “මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න ආදරය, දයාව සහ ප්‍රභාව ලබා දුන්න සෑම රංගන ශිල්පියෙකු ම, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ම, සෑම පුද්ගලයෙකු ම සමග මේ සම්මානය බෙදා ගන්න ලැබීම මට මහත් ගෞරවයක්.”

ජයග්‍රාහකයා පුරෝකථනය කිරීම අපහසු වූ එක ම ප්‍රධාන සම්මාන කාණ්ඩය වූයේ හොඳ ම නිළිය කාණ්ඩය යි. එය ස්ටෝන් සහ කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන්හි ලිලී ග්ලැඩ්ස්ටන් අතර කරට කර පැවති තරගයක් ලෙස දිස් විය.

නමුත් 1920 ගණන්වල ඔසේජ් ජාතිකයින් ඝාතන මාලාවක් ගැන කියැවෙන මාර්ටින් ස්කෝසෙයිසීගේ මෙම චිත්‍රපටය සම්මාන උළෙලේ කාණ්ඩ 10ක් යටතේ නිර්දේශ වුව ද එයට හිස් අතින් ගෙදර යාමට සිදු විය.

2023 වසරේ වැඩි ම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන බාර්බි, එය නිර්දේශ වූ සම්මාන අටෙන් එකක් පමණක් දිනා ගත්තේ ය. ඒ, බිලී අයිලිෂ්ගේ ‘What Was I Made For?’ ගීතය හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය හිමි කර ගැනීමත් සමග ය.

“ඇකඩමියට බොහෝ ම ස්තූතියි, මම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. මට දැනෙනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මේක මට ගෞරවයක්,” යැයි අයිලිෂ් පැවසුවේ ඇයගේ සහෝදරයා සහ එම නිර්මාණය සඳහා දායක වුණු ෆිනියස් ඕ’කෝනල් සමග සම්මානය පිළිගන්නා අතරතුර ය.

බාර්බි දිනා ගත්තේ එක් සම්මානයක් පමණි - ඒ, බිලී අයිලිෂ්ගේ සහ ෆිනියස් ඕ'කෝනල්ගේ 'What Was I Made For?' ගීතය සඳහා හොඳ ම ස්වතන්ත්‍ර ගීතය සම්මානය යි
බාර්බි දිනා ගත්තේ එක් සම්මානයක් පමණි – ඒ, බිලී අයිලිෂ්ගේ සහ ෆිනියස් ඕ’කෝනල්ගේ ‘What Was I Made For?’ ගීතය සඳහා හොඳ ම ස්වතන්ත්‍ර ගීතය සම්මානය යි

ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටයේ තම පුතාගේ මරණයට මුහුණ දීමට උත්සහ කරන පාසල් සූපවේදිනියකගේ චරිතය නිරූපණය කළ ඩේ’වයින් ජෝයි රැන්ඩොල්ෆ් හොඳ ම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය.

රැන්ඩොල්ෆ් තම සම්මානය පිළිගනිමින් සිදු කළ කතාවේදී ප්‍රේක්ෂකයන්ට මෙසේ පැවසුවා ය: “බොහෝ කලක් තිස්සේ මට වෙනස් වෙන්න ඕනේ වෙලා තිබුණා. ඒ වගේ ම මට දැන් තේරෙනවා මට වෙන්න ඕනේ, මම ම කියලා, මාව හඳුනා ගත්තාට ස්තුතියි.”

ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් චිත්‍රපටය හොඳ ම ශබ්ද සැලසුම්කරණය සඳහා වන සම්මානය දිනා ගත් අතර හොඳ ම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු බ්‍රිතාන්‍ය චිත්‍රපටය බවට ද පත්විය. විචාරක පැසසුමට ලක් වූ හොලොකෝස්ට් චිත්‍රපටය, අවුෂ්විට්ස් කඳවුරට යාබදව ජීවත් වන ජර්මානු පවුලක් ගැන තේමා වී තිබේ.

සම්මානය පිළිගැනීමේ කතාවේදී අධ්‍යක්ෂ ජොනතන් ග්ලේසර් ඊශ්‍රායලය සහ ගාසා තීරයේ පවතින යුද්ධය විවේචනයට ලක් කළේ ය.

හොඳ ම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ, ට්වෙන්ටි ඩේස් ඉන් මරියුපොල් චිත්‍රපටය යි. එහි අධ්‍යක්ෂ මිස්ටිස්ලව් චර්නොව් ප්‍රේක්ෂකයන්ට පැවසුවේ, යුක්‍රේනයේ ප්‍රථම ඔස්කාර් සම්මානලාභියා වීම තමාට “ගෞරවයක්” බව ය.

“මේ වේදිකාව මතදී, මම කවදාවත් මේ චිත්‍රපටය හැදුවේ නැත්නම්, කියන පළමු අධ්‍යක්ෂවරයා මම වෙන්න පුළුවන්,” යැයි ඔහු පැවසුවේ: කිසි ම විටෙක යුක්‍රේනයට පහර නොදෙන, අපේ නගර අල්ලා නොගන්න, රුසියාව එක්ක මට මේක හුවාමරු කර ගන්න තිබුණා නම්,” ලෙස ද සඳහන් කරමිනි.

ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඩේ'වයින් ජෝයි රැන්ඩොල්ෆ් හොඳ ම සහය නිළිය ලෙස සම්මාන ලැබුවා ය
ද හෝල්ඩෝවර්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඩේ’වයින් ජෝයි රැන්ඩොල්ෆ් හොඳ ම සහය නිළිය ලෙස සම්මාන ලැබුවා ය

ඊට අමතරව, ඇනටමි ඔෆ් අ ෆෝල් චිත්‍රපටය හොඳ ම ස්වතන්ත්‍ර තිර රචනයට හිමි සම්මානය දිනා ගත්තේ ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ සම-රචකයා වන ජස්ටින් ට්‍රියේ සරදමට මෙන් සඳහන් කළේ, මෙම ඔස්කාර් සම්මානය “මගේ මැදිවියේ අර්බුදයෙන් මිදීමට උපකාරී වේවි,” යනුවෙනි.

මෙම චිත්‍රපටයේ තම සැමියා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවක සහ එම ඝාතනය සිදුවන විට ඒ අසල සිටි එක ම සාක්ෂිකරු වන ඇගේ දෘෂ්‍යාබාධිත පුත්‍රයා ගැන කියැවේ.

ඇමෙරිකන් ෆික්ෂන් හොඳ ම අනුවර්තිත තිර රචනය ලෙස නම් කෙරිණි. එහි රචක කෝඩ් ජෙෆර්සන් මෙසේ පැවසීය: “මම නිතර ම වගේ කියලා තියෙනවා මේක ගැන කතා කරද්දී කී දෙනෙක් ප්‍රතික්ෂේප කළා ද කියලා උදව් කරන්න. ඒ ප්‍රතික්ෂේප කිරීම් ගැන කතා කරන එක නිකම් පළිගැනීමක් වගේ පෙනුනොත් ඒක ගැන මම කණගාටු වෙනවා. නමුත් මේක මට ලැබුණු අවස්ථාව අවශ්‍ය බොහෝ අය ඉන්න බව හඳුනා ගන්න කරන ආයාචනයක්. “

හොලිවුඩය “අවදානමක් ගන්න අකමැති කර්මාන්තයක්” යැයි තමා දන්නා බව ඔහු ප්‍රකාශ කළ නමුත් චිත්‍රාගාර කුඩා පරිමාණයේ චිත්‍රපට සඳහා ලබා දෙන ඉඩ වැඩි කළ යුතු බව පැවසීය. “එක ඩොලර් මිලියන 200ක චිත්‍රපටයක් කරනවා වෙනුවට ඩොලර් මිලියන 10ක චිත්‍රපට 20ක් නිර්මාණය කරන්න උත්සහ කරන්න,” ඔහු පැවසීය.

ජපන් ෆැන්ටසි චිත්‍රපටයක් වන ද බෝයි ඇන්ඩ් ද හෙරන් හොඳ ම සජීවිකරණ වෘතාන්ත චිත්‍රපටය ලෙස නම් කෙරුණේ ස්පයිඩර්-මෑන්: අක්‍රොස් ද ස්පයිඩර්-වර්ස් චිත්‍රපටයෙන් එල්ල වූ අභියෝගය නතර කරමිනි.

රෝල්ඩ් ඩාල්ගේ කතාව පාදක කරගත් ද වොන්ඩර්ෆුල් ස්ටෝරි ඔෆ් හෙන්රි ෂුගර් සඳහා අධ්‍යක්ෂක වෙස් ඇන්ඩර්සන් හොඳ ම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය කාණ්ඩය යටතේ ඔහුගේ පළමු ඇකඩමි සම්මානය දිනා ගත්තේ ය.

කිමල්ගෙන් ට්‍රම්ප්ට පහරක්

එක්සත් ජනපදයේ සාකච්ඡාමය වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජිමී කිමල් සිව්වන වරටත් ඔස්කාර් සම්මාන උළෙලේ ඉදිරිපත් කරමින්
එක්සත් ජනපදයේ සාකච්ඡාමය වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජිමී කිමල් සිව්වන වරටත් ඔස්කාර් සම්මාන උළෙලේ ඉදිරිපත් කරමින්

සිව්වන වරටත් සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ ජිමී කිමල් විසිනි. චිත්‍රපට කර්මාන්තයේ පසුගිය මාස 12 ගැන සඳහන් කරමින් මෙම එක්සත් ජනපද සාකච්ඡාමය වැඩසටහන් මෙහෙයවන්නා උළෙල ආරම්භ කළේ ය.

හොලිවුඩයේ කටයුතු ඇනහිටීමට හේතු වූ වැඩ වර්ජන සිහිපත් කළ කිමල්, නළු නිළියන්ට සහ රචකයින්ට සාධාරණ කොටසක් ලබා ගැනීමට ගත් උත්සහයට උපහාර දැක්වීය.

රංගන ශිල්පීන්ට – ශිල්පිනියන්ට දැන් “කෘත්‍රිම බුද්ධිය මගින් ප්‍රතිස්ථාපනය වීම ගැන කරදර වීම නැවැත්විය හැකි බව ත්, තරුණ, වඩා ත් ආකර්ෂණීය පුද්ගලයින් විසින් ප්‍රතිස්ථාපනය වනු ලැබීම ගැන කනස්සල්ලට පත්විය හැකි බව ත්” ඔහු සරදමට මෙන් පැවසුවේ ය.

බාර්බි චිත්‍රපටයේ තරු වන මාර්ගෝ රොබී සහ රයන් ගොස්ලින් වෙත ඔහුගේ අවධානය යොමු කරමින් ඔහු මෙසේ පැවසීය: “අද රාත්‍රියේ ඔබ දෙදෙනාගෙන් කිසිවෙකුට හෝ ඔස්කාර් සම්මානයක් නොලැබුණත්, මම කියන්න කැමතියි, ඔබ ඊට වඩා වටිනා දෙයක් දිනලා තියෙන්නේ, සහජ දක්ෂතාව.”

මේ වසරේ නිර්දේශිත චිත්‍රපට “ඉතා දිගු වූ” බව පෙන්වා දෙමින් කිමල් සඳහන් කළේ, “මම කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් බලන්න ගියා ම මගේ ලියුම් (තියටර් එකට) සිනමා ශාලාවට ෆෝවර්ඩ් කරලා තිබුණා.”

“කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් සෑහෙන දිගයි,” ඔහු තවදුරටත් සඳහන් කළේ, “ඔබට එය නැරඹීමට ගත වූ කාලය තුළ, ඔක්ලහෝමා වෙත වාහනයක් පදවාගෙන ගිහින් ඒ මිනීමැරුම් ඔබට ම විසඳා ගන්න පුළුවන්.”

සම්මාන උළෙල අවසානයේ කිමල්, තම ඉදිරිපත් කිරීම ගැන අවලාද නැගූ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔන්ලයින් සටහනක් ගැන සඳහන් කළේ ය.

ට්‍රම්ප්ට සජීවීව ප්‍රතිචාර දක්වමින් කිමල් මෙසේ පැවසීය: “ස්තූතියි ජනාධිපති ට්‍රම්ප්, නැරඹුවාට ස්තූතියි, ඔයා තවමත් නැගිටලා ඉන්න එක ගැන මට පුදුමයි. ඔයා හිරේ හිටපු කාලේ ඉවර ද?”

BBC News