යේමනයේ හවුති කැරලිකරුවන් නිසා චීන අපනයනකරුවන් දැඩි අරබුධයක

0
හවුති කැරලිකරුවන්

රතු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නෞකාවලට යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කිරීම උත්සන්න වීමත් සමඟ චීන අපනයනකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වන බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව චීනයේ සිට යුරෝපයට බහාලුමක් අපනයනය සඳහා පසුගිය දෙසැම්බරයේ දී වැය වූ ඩොලර් 3,000ක මුදල දැන් ඩොලර් 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව එවැනි එක් අපනයනකරුවෙකු පවසා තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත මෝටර් රථ අප්‍රිකාවට අපනයනය කළ එම අපනයකරු, යුරෝපයේ සිට ‘ඕෆ්රෝඩ්‘ වාහන චීනයට ආනයනය කරනු ලැබුවා.

ඔහු රොයිටර්ස් වෙත පවසා ඇත්තේ, මෙලෙස නෞකා ප්‍රවාහන වියදම ඉහළ යාම නිසා දැනටමත් ක්ෂීණ වී ඇති ලාභය මුළුමණින්ම පාහේ අහිමි වන බවයි.

එමෙන්ම නෞකා භාණ්ඩ ප්‍රවාහනයේ රක්ෂණ ගාස්තු ඉහළ යාමද චීන අපනයනකරුවන්ට අහිතකර ලෙස බලපා තිබෙනවා.

ලෝකයේ නෞකා භාණ්ඩ ප්‍රවාහනයෙන් 15%ක්ම සිදු වන සුවස් ඇළ හරහා යුරෝපයට ගමන් කිරීමේ නෞකා මාර්ගයට බාධා එල්ල වීම නිසා එම නෞකා අප්‍රිකානු මහාද්වීපය වටා දීර්ඝ නෞකා මාර්ගයක යාත්‍රා කළ යුතු වනවා.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ චීනය කෙටිකාලීනව මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ, නව වසර සඳහා කර්මාන්තශාලා වසා දැමීමමට සිදු වීමයි.

ඒ, මිලියන 300ක් පමණ වූ චීන සංක්‍රමණික සේවකයන් සිය ගම්බිම් බලා යාම හේතුවෙන්.