යුද හමුදා සෙබළකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය පොලිස් සැරයන් වරයා උප පොලිස් පරීක්ෂක ධූරයට උසස් කෙරේ

0
වෙඩි ප්‍රහාරයකින්

මෙහෙයුමක් සඳහා ගොස් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් වෑන් රථයකට වැලිගම නගරයේදී මත්ද්‍රව්‍ය මෙහෙයුමකට එක්ව සිටි යුද හමුදා සෙබළකු 31 වැනිදා අලුයම එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම වෑන් රථයේ ගමන් කළ පොලිස් සැරයන්වරයකු මියගොස් උපපොලිස් පරීක්‍ෂකවරයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පාතාල සන්නද්ධ කණ්ඩායමක් මෙම වෑන් රථයේ ගමන් කරනු ඇතැයි සිතා අත්වැරදීමකින් හමුදා සෙබළා ඊට වෙඩි තබා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

හමුදාවේ වැරදුණු ඉලක්කයෙන් සැරයන් මරුට

විමර්ශනවලදී හෙළිවී ඇති අන්දමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අටදෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කිසියම් මෙහෙයුමක් සඳහා ඊයේ අලුයම වැලිගම නගරයට පැමිණ ඇත.

වැලිගම නවගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි උෂී හෝටලය අසලදී කිසියම් පුද්ගලයකු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් රැගත් වෑන් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

ඒ අවස්ථාවේ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් W15 හෝටලයට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ.

මෙම සිද්ධිය වන අවස්ථාවේ වැලිගම පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදාව ඒකාබද්ධව වැලිගම නගරයේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමකට එක්ව සිට ඇත.

පාතාල සාමාජිකයන් පිරිසක් වෙඩි ප්‍රහාර එල්ල කරන බවට ලැබුණ තොරතුරු මත මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමේ සිටි නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් රැගත් කේ.ඩී.එච්. වෑන් රථය පලාගොස් ඇත්තේ ඊට නතර වන ලෙස වැලිගම පොලිසියේ නිලධාරීන් කළ නියෝගයද ගණනකට නොගෙනය.

එහිදී කේඩීඑච් වෑන් රථය වෙත මත්ද්‍රව්‍ය මෙහෙයුමට එක්ව සිටි යුද හමුදා සෙබළකු වෙඩි තබා ඇත. එම වෙඩි ප්‍රහාර එල්ල වූවද වෑන් රථය නොනවත්වාම ඉමදූව අධිවේග පිවිසුම දෙසට පලාගොස් තිබේ.

ඒ අවස්ථාවේ වැලිගම පොලිසිය මෙසේ පලායන කේඩීඑච් වෑන් රථය පිළිබඳව අවට පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇත්තේ එම වෑන් රථයේ සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව නොදැනය.

මේ අතර මෙම කේඩීඑච් වෑන් රථය ඉමදූව අධිවේගී පිවිසුමෙන් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි සිටි නිලධාරීන් එය නතර කර ගෙන ඇත. එහිදී අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තම අනන්‍යතාව හෙළිකර ඇති අතර තම නිලධාරියකු තුවාල ලබා සිටින බැවින් හැකි ඉක්මනින් යෑමට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

එහෙත් අධිවේගී පිවිසුමේ නිලධාරීන් ඒ ගමන වළක්වා තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි සැරයන්වරයා සහ උපපොලිස් පරීක්‍ෂකවරයා 1990 හදිසි ගිලන් රථ සේවය හරහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි. රෝහල්ගත කරන විටත් සැරයන්වරයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

මෙම වෙඩි තැබීම් සිදුවූ W15 හෝටලය සබරගමුව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයාට අයත් එකකි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාගේ සහ මිදිගම රුවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානීන් 31 දෙනෙක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් කොළඹ අපරාධ කොට්ඨාසය ආරම්භ කර තිබිණි.

මෙම මෙහෙයුම යටතේ පෙරේදා (30 වැනිදා) දහවල් මාතර සහ වැලිගම ප්‍රදේශවලදී මිදිගම රුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 11 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන් 5 දෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබුණේ වැලිගම ප්‍රදේශයෙන්ය. මිදිගම රුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධානියකු W15 හෝටලයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ අලුයම එහි ගොස් ඇත.

අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එහි සිටි පුද්ගලයකුට වෙඩි තබන්නේ ඒ අවස්ථාවේදීය. එහිදී පොලිස් නිලධාරීන් හෝටලයට සහ ඒ අවට ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.

W15 හෝටලය මීට පෙර අවස්ථා 15 කදී පමණ පොලිසිය විසින් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගලේවෙල පදිංචිකරුවකු වන 46 හැවිරිදි උපුල් චමින්ද කුමාර නමැති සැරයන්වරයෙකි.

බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන උප පොලිස් පරීක්‍ෂකවරයාට ජීවිත අවදානමක් නැති බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

එසේම අදාළ පොලිස් නිලධාරියාට පොලීසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊට අමතරව ඔහුට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවය.