
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.
එම නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙන බවත් එම නියෝගයේ සඳහන් වුණි.
ඒ අනුව ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කළ ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් එක් අතුරු නියෝගයක් නිකුත් කළේය.
එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට පත්කල අතුරු කමිටුව ඉවත්කරන ලෙස ජනපති ඉල්ලලා
පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ සියලු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් හෙට දිනයේ පාර්ලිමේන්තුවට සිදුකරන බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
“කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕන. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා කිව්වේ කමිටුව පත්කරපු එක අයින් කරන්න. එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා කිසිසේත්ම පත්කරපු කමිටුව ඉවත්කරන්නේ නෑ කියලා. මේ ගොල්ලෝ කරලා තියෙන දූෂණ පට්ට හොරු රැළක්. ගැඹුර පෙන්නේ නෑ. දැන් හෙට අනිද්දා ගහන්න යනවා T 10 කියලා. ඒකෙ මගඩිය තව එකක්. දැන් විගණකාධිපති වාර්තාව ඇවිල්ලා මාස දෙකක්. පොලිස්පතිතුමාට යවනවා තාම විමර්ශනයක් නෑ. නීතිපතිතුමාට දෙනවා නඩු පවරන්න. මට කියනවා තවත් කමිටුවක් දාන්නලු. අධිකරණයට ගියත් විගණනය සම්බන්ධ ගැටලුවකට. අධිකරණයත් අහන්නේ විගණකාධිපතිගෙන්. මිනීමැරුමක්ද කියලා බලන්න දෙන්නේ අධිකරණ වෛද්‍යවරයාට වගේ මේක දෙන්නේ විගණකාධිපතිට. විගණකාධිපති විසින් වැරදියි, දූෂිතයි, නීතිමය දඬුවම දෙන්න කියන පණිවුඩය දීලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. හැබැයි නීතිපති ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. මේ අරගලයක් එක්ක වගකීම භාරගත්තේ.”