සිය භූමියෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බවට පලස්තීන ජනපතිගෙන් සහතිකයක්

0
සිය භූමියෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බව

කුමන අභියෝග පැමිණිය ද සිය භූමියෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි.

ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඊජීප්තුවේ කයිරෝ හිදී පැවැත්වෙන සමුළුවට සහභාගී වෙමින් පලස්තීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නැවත පදිංචි කිරීම් සිදුකරන බව පවසමින් එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීම කිසිවිටෙකත් පිළිනොගන්නා බවය.

සාම සමුළුවක් ලෙස හඳුන්වමින් පැවැත්වෙන එම සමුළුව සඳහා ජෝර්දාන, කටාර්, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ රටවල නියෝජිතයින් සහභාගී වී සිටින අතර ඊශ්‍රායලය, අමෙරිකාව සහ ඉරානය ඊට සහභාගී නොවන ප්‍රධාන රටවල් අතරට ඇතුළත්ය.

එම සමුළුවේ දී අදහස් දක්වමින් ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ගෝලීය නිශ්ශබ්දතාව හෙළාදකින බවය.

පලස්තීනයේ ජීවිත ඊශ්‍රායල ජීවිත තරමට වැදගත් නොවන බවට එමගින් ඔවුන් අරාබි ලෝකයට පණිවුඩයක් ලබාදෙන බවද ජෝර්දාන රජු සඳහන් කර තිබුණි.