ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් නෙදර්ලන්තය පරදවයි

0
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගිවූ තරග හතරකදී ලැබූ පළමු ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකා පිල ලකුණු 263 ක ඉලක්කය ඕවර 49.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. සදීර සමරවික්‍රම ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 107 කින් හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 91 ක් රැස්කිරීමට සමත්විය. සදීර සමරවික්‍රම (නොදැවී 91) සහ චරිත් අසලංක (44) සිව්වැනි කඩුල්ලට ලකුණු 76 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

නෙදර්ලන්ත පිල ඕවර 49.4 කදී සියලු දෙනාදැවී 262 (මැක්ස් ඔඩවුඩ් 16, කොලින් ඇකර්මන් 29, ස්කොට් එඩ්වඩ්ස් 16, සිබ්‍රැන්ඩ් එන්ගල්බ්‍රෙච් 70, ලොගන් වෑන් බීක් 59 කසුන් රාජිත 50/4, ඩිල්ෂාන් මධුසංඛ 49/4) ශ්‍රී ලංකා පිල ඕවර 49.2 කදී කඩුලු 5 ට 263 (පැතුම් නිස්සංක 54, සදීර සමරවික්‍රම නොදැවී 91, චරිත් අසලංක 44, ධනංජය ද සිල්වා 30, ආරයන් ඩට් 44/3)