
ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එහිදී DW ප්‍රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa කළ ප්‍රකාශයක් සහ ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරය ඊට හේතු වී තිබෙනවා.
එහිදී නිවේදිකා Christine Mhundwa ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දේශනයට ආරධානා කිරීමට පෙර මෙලෙස පවසා තිබෙනවා.
“මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින් පිළිගන්නවා. ජනපතිතුමනි ඔබටයි මේ වේදිකාව.”
එහිදී ඇයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ.”
මෙම දේශනයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සුබවාදී මට්ටමක පවතින බවයි
දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය.
එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් අතර නිල හමුව
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බර්ලින් නුවරදී සිදු විය.
“ගෝලීය ආර්ථික පරිවර්තනයන් හමුවේ කසකස්ථානයේ භූමිකාව” පිළිබඳ රාජ්‍ය නායක සැසිවාරය කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතාගේ ප්‍රධානත්වයෙන් “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව පැවැත්වුණු අතර ඒ සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.