13 දෙනෙකුට මරණ දඩුවම

0
මරණ දඩුවම

කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් 08 දෙනෙකුට මරණ දඩුවම

තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් මරණ දඩුවම නියම කළා.

කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණා.

කළුතර , මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැව්රිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා , 49 හැව්රිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන් , 59 හැව්රිදි මොහොමඩ් මව්ස් මොහොමඩ් , 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ් , 47 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැව්රිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැව්රිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල් යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණා.

හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් 05 දෙනෙකුට මරණ දඬුවම

ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද මරණ දඬුවම නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2019 වසරේ දී ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 152 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගත්තේය.

එම මත්ද්‍රව්‍ය තොගය කිලෝ 25 බැගින් වූ මලු 08 ක බහා ධීවර යාත්‍රාව තුළ මාළු සහ අයිස් තැන්පත් කරන කුටියේ සඟවා ප්‍රවාහනය කර ඇති බව අනාවරණය විය.

රත්මලාන ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරුවන්ගේ ධීවර යාත්‍රාව ඔවුන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරිණි.

අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර ලැබූ අතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

දඬුවම් නියම කිරීමට මත්තෙන් යමක් ප්‍රකාශ කිරීමට තිබේදැයි විනිසුරුවරයා විත්විතිකරුවන්ගෙන් විමසා තිබේ

ඒ අනුව විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ පළමුවන විත්තිකරු කියා සිටියේ තමන්ට ඕනෑම දඬුවමක් ලබා දෙන ලෙසත් සෙසු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙසය.

සෙසු විත්තිකරුවන් හතර දෙනා විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළේ තමන් අහිංසක ධීවරයින් බවත් මෙම අපරාධය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කරනු ලැබීය.