හරක් කටාට පළා යෑම සඳහා සහාය දුන් බව කියන පොලිස් කොස්තාපල් විදේශ රටක

0
පළා යෑම සඳහා සහාය දුන්

මේ වන විට රැදවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ සිටින නදුන් චින්තක නොහොත් හරක් කටාට ඉන් පළා යෑම සඳහා සහාය දුන් බව කියන පොලිස් කොස්තාපල් සංදීප ගුණසේකර විදේශ රටක සිට සිය නිවසට අමතා තිබේ.

අදාල සිද්ධිය වූ පසුගිය ඉරුදා දින සේරුවිල පිහිටි තම නිවසට මෙම දුරකථන ඇමතුම වට්ස්ඇප් මාර්ගයෙන් ලබා දී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලින් හෙලිව ඇත.

තමන් විදේශයක කරදරයක් නැතිව සිටින බවට ඔහු එහිදී නිවැසියන්ට පවසා ඇති අතර සඳුදා දිනයේ ද ඔහු සිය නිවසට දුරකථන ඇමතුමක් ලබා දී අැත.

පොලීසිය සඳහන් කරන්නේ සැකකාර කොස්තාපල්වරයා ගුවන් තොටුපලක් හරහා විදේශගත වී නැති නමුත් විදේශගත වීම සඳහා සියලු සැලසුම් සකස් කරගෙන සිටි බව හෙළි වී ඇති බවය.

මෙම තත්වය මත ඔහු මුහුදු මාර්ගයෙන් රටින් පලා ගියේ දැයි පොලිසියට සැක මතුවී ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් ඔහුට රටින් පිටවීමේ එරෙහි වාරණ නියෝගයක් පනවා ඇති අතර සියලු ගුවන්තොටුපලවලට ඒ බව දැනුම් දී තිබේ.