පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අධිකරන අමාත්‍යවරයාගෙන් සහතිකයක්

0
පාස්කු ප්‍රහාරය පිළිබඳ

පාස්කු ප්‍රහාරය පිළිබඳ දේශීය වශයෙන් නොව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සුදානම් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව දුෂණ විරෝධි පනත සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (07) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කිරීමට ආසන්න වන විට ශ්‍රී ලංකාවට විරුද්ධව ඩයස්පෝරාව විසින් විවිධ වාර්තා වීඩියෝ ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා එහි දී පැහැදිලි කළේය.

චැනල් 4 නාලිකාව ඩයස්පෝරාවට හිතවාදී නාලිකාවක් බවත් කෙසේ වෙතත් ඔවුන් විකාශනය කරන පරිදි යම් සිද්ධියක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත් අමාත්‍යවරයා එහි දී පැවසීය.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන්න ආසන්න වන විට අපේ රටට විරුද්ධව විවිධ වාර්තා වීඩියෝ ඉදිරිපත් කරනවා. ඩයස්පෝරාව විවිධ දේවල් කරනවා. අපි ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ඩයස්පෝරා නායකයන් සමඟ සාකච්ඡා කළා. 

මේ පාස්කු ප්‍රහාරය සිදුවෙන්න මාස 29කට පෙර මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ කාලයේ හිටපු රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇතුළු අය මට චෝදනා කළා. ජාතික සමගිය නැති කරන්න මම මේ ප්‍රකාශය කළා කිවුවා. අද විපක්ෂයේ ඉදලා දැඩි උනන්දුවෙන් සමහර අය කථා කරනවා. මම එදා ඒ ප්‍රකාශය කරන කොට අද කථා කරන, කෑ ගහන අය අමාත්‍ය මණ්ඩලයේ හා ආණ්ඩුවේ හිටියා. 

කොරහේ කිඹුල්ලු දකින්න එපා මේ රට ලේ විලක් කරන්න එපා කියලා මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා වගේ අය මට චෝදනා කළා. නමුත් මාස 29කට පස්සේ සියලු දෙනාගේ ඇස් ඇරුණා. මගේ ප්‍රකාශය ගැන එදා සොයා බැලුවා නම් අදත් ඒ මිනිසුන් ජීවත් වෙනවා. 

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකාරයෙක් ඉන්නවා කියලා ප්‍රකාශ වුණා. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යන දවසේ තමයි මහ මොළකාරයෙක් ඉන්නවා කියන කතාව කිවුවේ. ඔහුට මේ ප්‍රකාශය විශ්‍රාම යන දවසේ කියන්නේ නැතිව එතුමාගේ කාලය තුළ සොයා බලන්න තිබුණා. නමුත් එතුමාගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ගන්න යනකොට අධිකරණ නියෝග ලබා ගන්නවා ප්‍රකාශ ලබා ගන්න එපා කියලා. 

දැනට පාස්කු ප්‍රහාරය ගැන නඩු 42ක් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ දේශීය වශයෙන් නොවෙයි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න රජයක් ලෙස අපි සුදානම්. අද ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය එදා පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ ආණ්ඩුවේ හිටියා. චැනල් 04 නාලිකාව ඩයස්පෝරාව එක්ක කටයුතු කරන මාධ්‍ය ආයතනයක්. එම නාලිකාව පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට යුක්තිය ඉටු වෙන්න ඕන කියන සද්භාවයෙන් ඉන්න ආයතනයක් නෙවෙයි. චැනල් ෆෝ නාලිකාව විකාශනය කරන පරිදි සිද්ධියක් වෙලා තිබෙනවා නම් ඒ ගැන සොයා බලනවා. මේ පිළිබඳ අපි පූර්ණ පරීක්ෂණයක් සිදු කරනවා.”