ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක්

0
ආරක්ෂක අංශ ප්‍රධානියකු

ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත්තේ නීතිපතිවරයා පොලිසියට ලබාදුන් ලිඛිත නියෝගයක් අනුවය.

පසුගිය වසරේ මාර්තු මස 01දා සිට මැයි 9 දක්වා අතර කාලය තුළ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට විධිමත් පියවර නොගැනීම, පැහැදිලි විධාන සහ නියෝග ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන බව දේශයට වාර්තා වෙයි.

හිටපු ජනාධිපති නිවෙස ඉදිරිපිට විරෝධතා පැවැත්වීම, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමැතින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීම, රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව තහවුරු නොකිරීම ඇතුළු බරපතළ චෝදනා ගණනාවක් මත මෙම විමර්ශනය සිදු කළ යුතු බවට නිර්දේශ කරන ලද්දේ ඒ සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් විසිනි.

මෙම පරීක්ෂණයේදී අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිත අතර පරීක්ෂණයෙන් පසු ඔහු සම්බන්ධව ඉදිරි පියවර ගැනෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.