ශානි අබේසේකර බණ්ධනාගාර ගත කල චෝදනාවෙන් නිදහස්

0
ශානි අබේසේකර

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නඩුවකට අදාළව චෝදනා ලැබ සිටි අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 25වැනිදා) නියෝග කළේය.

ශානි අබේසේකර ට එල්ල වූ චෝදනාව කුමක්ද?

2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වැරදිකරුවන් කරමින් ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබිය.

එලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු සමීර ද වාස්‌ ගුණවර්ධන, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක, බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර හා ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව යන විත්තිකරුවන්ටය.

මෙම ඝාතන සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාශයට 2020 වසරේදී පැමිණිල්ලක් ගොනු කර තිබේ

ශානි අබේසේකර

ඒ අනුව 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එවකට වැඩ තහනම්ව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් පසුව ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබිය.

මාස 10ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ

ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ශානි අබේසේකරට මාස 10යි දින 08ක් බන්ධනාගාර ගතව සිටීම ට සිදුවිය.

මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහුට කෝවිඩ්-19 ආසාදිතවූ අතර පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීම මත ඔහු IDH රෝහලට ඇතුළත් කරනු ලැබිය.

එම කාල සීමාවේදී ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය හමුවේ ඇප අයැදුම් ඉදිරිපත් කරනු ලැබුවද ඒවා ප්‍රතික්ෂේප කෙරුණි.

ඉන් පසුව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු සැකකරුවන්ට 2021 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනිදා ඇප නියම කරනු ලැබීය.

අධිකරණයේදී සිදුවුයේ කුමක් ද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු සැකකරුවන්ට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධ චෝදනාවට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (අගෝස්තු 25 වැනිදා)කැඳවිණි.

එහිදී නිතිපතිවරයා විසින් ලිඛිතව මෙම නඩුවේ සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙස දැනුම් දී තිබෙන බවත්, එම තීරණය නැවත සලකා බලන ලෙසත් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බැවින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගම්පහ මහේස්ත්‍රාත්වරියගෙන් එහිදී ඉල්ලීමක් කරනු ලැබිය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම නඩුවට අදාළ සැකකරුවන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබියදී තවත් කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවය.

ඒ අනුව අදාළ චෝදනාවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ශානිගෙන් නඩු ගොන්නක්

මේ අතර ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ තමන්ට සිදුවූ ආසාධාරණකම් හේතුවෙන් මුලික අයිතිවාසිකම් සහ වන්දි නඩු 15ක් පමණ ගොනු කර ඇත.

මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා කාලය තුළදී අපරාධ රාශියක සුලමුල හෙළිකර ගැනීමට සමත් වූ ප්‍රවීණ විමර්ශන නිලධාරියෙකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හට පුර්ණ විශ්‍රාමය ගෙවන ලෙස ජාතික පොලිස් කොමිසම විසින් මීට තෙමසකට පෙර ලබාදුන් නියෝගය ද මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව බීබීසි සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය විය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි.

එම සිදුවීම් වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශනවල කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.

BBC News