ධන කුවේර කල්ලියක් කල රාජ්‍ය බැංකු සුද්දයක් ගැන පාඨලීගෙන් හෙළිදරවුවක්

0
රාජ්‍ය බැංකු සුද්දයක්

‘ණය ප්‍රශස්තකරණය කළාට පස්සේ, මේ පොළිය අඩුවෙයි කිව්වා. පොළිය අඩුවෙලා නෑ. ඇයි අඩුවෙලා නැත්තේ? ධන කුවේර කල්ලියක් එකතු වෙලා මේ රටේ රාජ්‍ය බැංකුවලට දැවැන්ත සුද්දයක් දීලා තියෙන්නේ’ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රට ගොඩනගන අලුත් ආර්ථික මාදිලියක් වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ කුසලතා පිරි පිරිස වෙත අවස්ථාව ලබා දීමට සූදානම් බව ද, රණවක මහතා ප්‍රකාශ කළේ මාතර නූපේ සණස රංග ශාලාවේ පැවැති ජනරජ පෙරමුණේ මාතර දිසා සමුළුව අමතමිනි

“අද මේ රට පත්වෙලා තියෙන තත්ත්වය ගැන අමුතුවෙන් යළි යළි මතක් කරන්න දෙයක් නෑ. රට පසුගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කරන්න පෙර ඉදන්ම අපට විදුලිය තිබුණෙ නෑ. දැවැන්ත තෙල් පෝලිම් තිබුණා. ගෑස් තිබු ගෙවල්වල ගෑස් ටැංකි පිපුරුණා. ගොවියට පොහොර තිබුණෙ නෑ. මාතර තේ වගාව, කුරුඳු වගාව මේ සෑම වැවිලි ක්ෂේත්‍රයක් ම දරුණු අර්බුදයකට ගිහිල්ලා තිබුණා. ඒ වගේම කොවිඩ් එක කාලේ ඉඳන් මේ වෙරළ තීරයේ තිබුණු සංචාරක ව්‍යාපාරය, තෙල් නැති නිසා ධීවර කර්මාන්තය මේ හැම තැනකම විශාල වේදනාවක් මිනිස්සු විඳිමින් හිටියේ. දැන් අපට ඇහෙනවා ප්‍රකාශ වෙනවා දැන් තෙල් පෝලිම් නෑ දැන් විදුලි කප්පාදුව නෑ දැන් ගෑස් ටික ලැබෙනවා, ගොවියට පොහොර ටික ලැබෙනවා දැන් රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරිලාය කියලා විශාල ප්‍රචාරණයක් ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවේ ඇතැම් අයත් ගෙනියනවා. ඇත්තටම සමාජය ඇතුළෙන් බැලුවහම අපිට පේන්නෙ මොකක්ද?

තව අවුරුදු දෙකක් යනකොට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන එක නෙමෙයි ප්‍රශ්න පත්තරේ හදාගන්න මහාචාර්ය කෙනෙක් හොයාගන්න බැරි රටක් බවට මේ රට පත්වෙනවා. රටේ නිදහස් සෞඛ්‍යය නිසා විශිෂ්ට ගණයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන ගිය, ලෝකයේම ගත්තම ඉතාම අඩු මුදලකින් වැඩිම හොඳ සෞඛ්‍ය සේවයක් තිබූ රටක් බවට අපි පත්වෙලා තිබුණා. දැන් ඒ තත්ත්වය දවසින් දවස බිඳ වැටෙමින් තිබෙනවා. දරුවන්ගේ අනාගතය ගැන අද දෙමාපියෝ බියට පත්වෙලා තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන භයානක ප්‍රවණතාවක් දැන් ඇතිවෙලා තියෙනවා. දැන් ආණ්ඩුව හිතනවා රට යන එකට නීති දාලා රට යන එකට බාධා කරලා පුළුවන්ද කියලා මේක පාලනය කරන්න.

ඒක නෙමෙයි මේකේ මොකක්ද විසඳුම? ජනතාවට බලාපොරොත්තුවක් දීමෙන් විතරයි. විශේෂඥ වෛද්‍යවරයාට, විශ්ව විද්‍යාල මහාචාර්යතුමාට, වරලත් ඉංජිනේරුවට, වෘත්තීයවේදියාට, ගුරුවරයාට, මුල් ගුරුවරයාට ඇතුළු මේ සමාජයට නායකත්වය දෙන සියලු දෙනාටම, බලාපොරොත්තුවක් ලබා දීමෙන් පමණයි. මේ රට මේ අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ.

දකුණේ අපේ ප්‍රබල දේශපාලනඥයෙක් අපට කිව්වා. තව අවුරුදු විසි පහකින් මේ රටේ දියුණු තත්ත්වයක් උදා වෙනවා කියලා, අවු. 25 ක් නෙමෙයි තව අවු. 5 ක්වත් මේ රටට ඉතුරු වෙලා නෑ. මේ රටේ ඉන්න වැදගත්ම පිරිස එක්කෝ රට දාලා ගිහිල්ලා. නැත්නම් රට ගැන බලාපොරොත්තු අත් ඇරලා තමන්ගේ වැඩක් බලාගන්න තත්ත්වයට පත් වුණාට පස්සේ රටක් ගොඩනගන්න බෑ. මේ මාතර කියන්නේ නිල්වලා ගඟවත්, තේ වතු කුරුඳු වතු ටිකවත්, මුහුදු වෙරළවත්, මුහුදවත් නෙවෙයි. මේ මාතර තියෙන මානව සම්පත. ඒ මානව සම්පත අපිට අහිමි වුනොත්, රටට නායකත්වය දෙන්න පුළුවන් ඒ නිර්මාණශීලී පිරිස අහිමි උනොත්, එතනින් පස්සේ රටට බලාපොරොත්තුවක් නෑ. අන්න ඒ නිසා තමයි, අපි ඒ බලාපොරොත්තුව ගෙන එන්න, අපි යෝජනා කරන්නේ.

2048 වෙනකන් නෙවෙයි, 2028 දි මේ රට ප්‍රකෘති තත්ත්වයට ගේන තුන් අවුරුදු, කඩිනම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න, අපි තීරණය කළේ ඒකයි.”

දකුණෙන් ගිය හොර මුලක් කොල්ල කා බංකොලොත් කළ රටට නැවත අභිමානය කැඳවා ගැනීම අවශ්‍යය. ඒ අභිමනය නිර්මාණය කළ යුත්තේ ද, දකුණෙනි. එක්සත් ජනරජ පෙරමුණ මාතරට පැමිණියේ ඒ වෙනුවෙනි.

“මාතර 72% ක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට, මහා මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දේ දුන්නා. විපක්ෂයට එක මන්ත්‍රී කෙනයි හිමිවුණේ. මේ මහා ජන ප්‍රවාහයක් ඡන්දය දීලා රට බංකොලොත් වුණාට පස්සේ දැන් අද මේක සීසීකඩ විසිරිලා ගිහින්. දැන් නැවත ආයෙත් සංවිධානය වෙමින් යනවා. නැවත ආයෙත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නාමය විකුණගෙන බලනවා නැවත ආකර්ෂණයක් කරන්න පුළුවන්ද කියලා. රටක් බංකොලොත් කළාට පස්සේ ඒ බංකොලොත්භාවයේ වගකීම භාර අරගෙන හරි නම් මහින්ද රාජපක්ෂ මහත්තයා කරන්න ඕනේ එම පක්ෂය විසුරුවා හරින එකයි. ඒ පක්ෂයේ නැවතත් මේ රටේ දේශපාලනය කරන්න සදාචාරාත්මක හෝ දේශපාලන අයිතියක් නෑ. මොකද මේ රටේ 65 ලක්ෂයක් පවුල් හිඟමනට ඇදලා දාලා තියෙන නිසා මේ රටේ ස්වෛරීත්වය අපට අහිමි කරලා, අපගේ ණය හිමියන්ට මේ රටේ ස්වෛරීත්වය භාර දීපු නිසා, ඒ අයට තවත් මේ රට පාලනය කරන්න අයිතියක් නෑ.”

වර්තමාන ජනාධිපතිවරයා ආර්ථික ගැටළුවේ බර යොමු කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවට ය. ණය ප්‍රශස්තකරණයේ දී අත තිබ්බේ ද, මහජනතාවට ය. ශ්‍රී ලංකා මහ බැංකුවටය. වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධකයටය, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලටය. භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කොට 26% පොලී අරගත් පුද්ගලික බැංකුවලට, පුද්ගලික මූල්‍ය සමාගම් වලට හෝ පුද්ගලික ආයෝජකයින්ට අත තිබ්බේ නැත. කිසිසේත්ම ආර්ථික යුක්තියක් ඉටු වී නැත.

 

“මාතර කඩේ කියන එක ලංකාවේ අනන්‍යතාවයක්. මොකද ඒක මතයක් තිබුණා නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගියහමත් මාතර බත් කඩේ තිබුණයි කියලා. ඒ ගාණට මේ මාතර ව්‍යවසායකත්වය පිළිබඳව ලොකු විශ්වාසයක් මේ රටේ මිනිස්සුන්ගේ තිබුණා. යාපනෙත් පාන් හැදුවේ අපේ මාතරින් ගිය පිරිස්. ඉතින් මේ ව්‍යවසාය දායකත්වයට අද මොකද වෙලා තියෙන්නේ? අද ව්‍යාපාර කරන්න බෑ. රටේ ලක්ෂ දහයක් ව්‍යාපාර තියෙනවා. ඒකෙන් ලක්ෂයක් මධ්‍ය පරිමාණ ව්‍යාපාර අනෙක්වා සුළු ව් යාපාර. මේ අයට අද සියයට විසිපහේ තිහේ පොලියට ව්‍යාපාර කරන්න බෑ. දිනපතා මේ ව් යාපාර වැහෙනවා. මිනිස්සු පාරට වැටෙනවා. ඇයි මේ පොලිය වැඩි වෙලා තියෙන්නේ? ඇයි ආණ්ඩුවට බැරි මේ පොලිය අඩු කරන්න? කිව්වේ, මේ ණය ප්‍රශස්තකරණය කළාට පස්සේ, මේ පොළිය අඩුවෙයි කිව්වා. පොළිය අඩුවෙලා නෑ. ඇයි අඩුවෙලා නැත්තේ? ධන, කුවේර කල්ලියක් එකතු වෙලා මේ රටේ රාජ්‍ය බැංකුවලට දැවැන්ත සුද්දයක් දීලා තියෙන්නේ.”

රටේ ආර්ථික යුක්තිය ඉටු වීමට නම් බැංකු පොලු තබා ඇති පිරිසගේ ධනය ආපසු ලබා ගැනීම සඳහා සක්‍රීය ව මැදිහත් විය යුතු ය. ඒ මැදිහත් වීම කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකිය. මන්ද ඒ බැංකු පොලුකාරයන් සිටින්නේ ද, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ කැබිනට්ටුව වට කරගෙන ය. මේ ජාවාරම්කාර පන්තියෙන් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගලවාගෙන රටේ දස ලක්ෂයක් වූ ව්‍යවසායකයන්ට අතහිත දිය හැකි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් අද අවශ්‍ය ව ඇත්තේ ඒ නිසා බව ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අවධාරණය කළේය. එක්සත් ජනරජ පෙරමුණ බිහි වී ඇත්තේ ඒ වෙනුවෙනි. 2020 අගෝස්තු මාසයේ පැවැති මහා මැතිවරණයෙන් ටික දිනකට පසු මූල්‍ය පාලනයක්, රාජ්‍ය පාලනයක් නැති කයිවාරුකාරයන් පිරිසක් නිසා රට ඉතා ඉක්මණින් අර්බුදයට යන බව තේරුම් ගත් අය රට ගලවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ වෙනසක් සිදු විය යුතු යැයි කතාබහ කළ ද, ඒ වගකීම විපක්ෂය විසින් බැහැර කොට රට බංකොලොත් වන්නට හැරියේය.

“අපි එදා 43 සේනාංකය හදලා මේ මාතරත් ආවා. ඒ ඇවිල්ලා අපි මේක පැහැදිලි කළා. කරුණු පහක් අපි පෙන්නලා දුන්නා වහාම අපි වෙනස් කරන්න කියලා. ඒ වෙනස අපිට කරගන්න තිබුණා නම් පාර්ලිමේන්තුව ඇතුලේ ඔය එළියට ආපු පිරිසත් එක්ක රට බංකොලොත් වෙන්නෑ. නමුත් රට බංකොලොත් වුණා. රට තුළ අරගලකාරීත්වයක්, කැරළිකාරීත්වයක් ඇති වුණා. සිවිල් මහජන නැගිටීමක් ඇති වෙලා රට අවසානයේ මේ ඛේදාන්තය දක්වා ගියා. ඒකටත් විපක්ෂය වගකියන්න ඕනි. මොකද විපක්ෂයේ වගකීම තමයි මෙවැනි ක්‍රියාවලියක් සිදුවෙන බව දැනගත් වහාම මැදිහත් වෙලා ප්‍රජාතන්ත්‍රවාශී ව්‍යුහය ඇතුලේ ප්‍රශ්න විසඳගන්න. අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයකට ගිහිල්ලා හරි ඒක කරගන්න තිබුණා. නිර්භීත නායකත්වයක් අපට තිබුණා නම්.

“අද මේ දකුණෙන් බිහි වූ, රෝහණ විජේවීර මහත්තයත් දික්වැල්ලේ, ඒ වගේම තංගල්ලේ මේ කලාපයෙන් බිහි වූ කෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණත් මේ ආකාරයටම මතුවෙලා ඇවිල්ලා, දැන් එතුමන්ලා කරුණු කිහිපයක් කියනවා. මොකක්ද එතුමන්ලා කියන්නේ? අපි විතරයි මේ හැත්ත හතර අවුරුද්දක සාපෙට වගකිව යුත්තේ නැත්තේ. මොකද අපි රට පාලනය කළේ නෑ. ඒ නිසා අපට දෙන්න. අපි මේ දූෂණයෙන් තොර රටක් හදලා රට ඉදිරියට ගෙනියනවාය කියන පණිවිඩය අපිට ලබා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අද ඊයේ බිහි වෙච්ච පක්ෂයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණේ 1965 මැයි දාහතර. දැන් ඒ පක්ෂෙටත් අවුරුදු හැටකට කිට්ටුයි. ඒ අතරේ කැරලි දෙකක් ගහලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිස් මිය ගිහින් තියෙනවා. රාජ්‍ය දේපළ අති විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. එක්තරා ඇස්තමේන්තුවකට අනුව විදේශිකයෙක් කරපු ඉන්දියානුවෙක් මේ කැරලි නිසා ජනතා විමුක්ති පෙරමුණත් කොටි සංවිධානයත් එල්ල කරපු රාජ්‍ය විරෝධී ප්‍රහාරය නිසා රටට නැතිවෙච්ච ඒ ජාතික ධනය අපේ ණය වගේ හතර ගුණයක්. එතකොට ඒ ගැන කිසිම විවේචනයක් නැතුව අපි කරපු ඝාතන ගැන, අපි කරපු දේපළ විනාශය ගැන මොනම විවේචනයක්වත් නැතුව මේ හැත්තෑ හතර අවුරුද්දට අපි ගෑවිලා නෑ කියලා කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි වැදගත්ම දේ, 1960 ගණන්වල මාක්ස්, ලෙනින්, එංගල්ස් ලෝකෙට වැදගත් වුණාට, අද ඒ අය මේ ලෝකෙට වැදගත් නෑ. ඒ පසුපස ගිහිල්ලා, ගොඩනගපු රටක් මේ ලෝකේ නෑ. ඒ නිසා මතක තියාගන්න මේ පැරණි සටන් පාඨ වලට අපි රැවටිය යුතු නෑ.”

“අපට අවශ්‍යයි අලුත් ආර්ථික මාදිලියක්. ඒ අලුත් ආර්ථික මාදිලිය ඉදිරියට ගෙනියන නව පිරිසක් අන්න ඒ වෙනුවෙන් තමයි අපි එක්සත් ජනරජ පෙරමුණ බිහි කරලා තියෙන්නේ.”

“අද ඕනේ උතුරු පළාතේ වගකීම භාර අරගෙන, බස්නාහිරට වඩා දියුණු, දකුණට වඩා දියුණු, උතුරු පළාතක් හදන්න, අභියෝගාත්මක උතුරු පළාතක් හදන්න, ලෝකය පුරා ඉන්න දෙමළ ජනයාගේ ශක්තිය, ව්‍යවසායදායකත්වය, ඒ වගේම වෘත්තීය ඥානය ගෙනල්ලා හදන නායකයෙක් තමයි අපිට ඕනේ. එහෙම නැතුව හැමදාම ඇමරිකාවට ගිහිල්ලා කන් කෙඳිරි ගාන ජිනීවා වලට ගිහිල්ලා කං කෙඳිරි ගාන එංගලන්තෙට ගිහිල්ලා යූ එන් එච් ආර් සී එකේ කන් කෙදිරි ගාන දකුණට ඇවිල්ලා කන් කෙදිරි ගාන, පන්සල් වලට ගල් ගහන, වස් කාලෙට ගිහිල්ලා එතෙන්ට කලබල ඇති කරන මිනිස්සු නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ මේ රට ඇතුලේ ආඩම්බරයෙන් හිතන්න පුළුවන් උතුරු පළාතක් ගොඩ නගන්න පුළුවන් ශක්තිමත් නායකයෙකුයි හදන්න අපිට ඕනේ. අන්න ඒක තමයි එක්සත් ජනරජ පෙරමුණේ හදන්න යන දෙමළ නායකත්වය”

“මේ වෙනකොට හාරදාහක් රටේ ව්‍යවසායදායකයන් රටින් ගිහින් ඉවරයි. තව ඉතුරු ටිකත් යවන්න තමයි මේ බලන්නේ. මොකද වැඩ විගණනයක් අවශ් යයි. අත්‍යවශ්‍ය පිරිස කවුද අපි ඒක රඳවගන්න ඕනේ? අවශ්‍ය පිරිස කවුද අපි ඒක රඳවගන්න ඕනේ? අවශ්‍ය නොවන පිරිසට අපිට පුළුවන් විවිධ විකල්ප ලබාදෙන්න. ආණ්ඩුවම කියනවා නම් අවුරුදු පහක් නිවාඩු දෙනවා පලයල්ලා රටින් කියලා දොස්තරලා රටින් යන එක නවත්තන්නේ කොහොමද? මහාචාර්යවරු රටින් යවන එක නවත්තන්නේ කොහොමද? ඉංජිනේරුවරු රටින් යවන එක නවත්තන්නේ කොහොමද? මේ රටට වැඩ විගණනයක් කරලා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ. ඒ වැඩපිළිවෙලත් අපි ඇති කරලා තියෙනවා.”

“සෑම රාජ්‍ය ආයතනයකටම වැඩ පිළිවෙලක් තිබෙන, රාජ්‍ය ආයතන ගොඩනගන්න අවශ්‍ය කරන පෞරුෂය, දැනුම, කළමනාකාරීත්වය තියෙන පිරිසක් අප සතුයි. අපගේ මේ තුන් අවුරුද්ද ඇතුලත අපි බලාපොරොත්තු වෙනවා දෙදාස් විසිඅට ඇතුළත මේ රටේ ඖෂධ, මේ රට තුළ නිපදවන ඒ වගේම රටට අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ගෙන්වන රටේ විශේෂඥ වෛද්‍යවරු, හෙද සේවා වලට අලුත් බලාපොරොත්තුවක් දීලා, මේ රටේ සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන, වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න. දෙක, මේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න, අපගේ ඵලදායිතාවය වැඩි කරලා, කුඹුරු අස්වැන්න වේවා, පොල් වගාවේ අස්වැන්න ධීවර අස්වැන්න වේවා මේ ක්ෂේත්‍ර පිළිබඳව අවධානයකින් යුතුව අපේ ආහාර ඵලදායිතාවය වැඩි කරලා අපේ ඉඩම්වල ඵලදායිතාවය වැඩි කරලා ශක්තිමත් ගමනක් යන වැඩපිළිවෙළක් අපි යෝජනා කරලා තියෙනවා .මේ රටේ කුඹුරු අස්වැන්න වගේ දෙගුණයක් තායිලන්තේ ගන්නවා නම් මේ රටේ පොල් ගහකින් ගන්න අස්වැන්න වගේ තුන් ගුණයක් කේරළය ගන්නවා නම් ඇයි අපිටත් ඒ වගේ දේවල් කරන්න බැරි? කරන්න බැරි නෑ. ඒ සඳහා වැඩපිළිවෙලක්, ඵලදායිතාවය පිළිබඳ වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ අපි දියත් කරනවා. ඒ වගේම තුන්වෙනි බලශක්තිය මේ රටේ බලශක්තියෙන් ඉදිරියට යන වැඩපිළිවෙළක් අපි බොහොම පැහැදිලිව යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ආදායම් පිළිබඳව විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය පිළිබඳව, සමාජ සාධාරණත්වයේ මූලධර්මය අපි ක්‍රියාත්මක කරනවා. සෘජු බදු, වක්‍ර බදු අතර අනුපාතය අපි සියයට හතලිහ හැට දක්වා ගෙන එනවා. රටේ ආදායම් එකතු කරන ව්‍යුහය ඇතුලේ අපිට වාර්තා වෙලා තියෙනවා සීයට හතළිස් පහකගේ ආදායම් එන්නේ නෑ කියලා. ඇයි? ඒ සඳහා විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් නෑ ආදායම් එකතු කරන්න. සියලු දෙනාම, ජාතික හැඳුනුම්පත කියන, ඒ අංකයට යටත් කරලා, ආදායම් බදු එකතු කරනා යාන්ත්‍රණයක් අපි ඇති කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි සකස් කරලා ඉවරයි.”

“පසුගිය ජූලි නම වෙනිදා පරාජයට පත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරක් නෙවෙයි. මේ රටේ විපක්ෂයේ සාම්ප්‍රදායික පක්ෂ සියල්ලක්ම ඒ ජන බලය ඉදිරියේ ජූලි නමවෙනිදා පරාජයට පත්වුණා. ඒ නිසා මේ රටේ තරුණ පරම්පරාව විශ්වාස කරන, මේ රටේ කුසලතා පරම්පරාව විශ්වාස කරන, නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තමයි එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ. මේ රට කුසලතාවයෙන් ගොඩනගන්න පුළුවන්, මේ රට තුළින් මතුවෙච්ච, රත්තරන් හැන්ද කටේ තියාගෙන ඉපදිච්ච අය නෙවෙයි. මේ මහ පොළොව තුළින් වැඩ කරලා, දුක් විඳලා, මතුවෙච්ච පරපුර, ඒ ඔබයි. ඒ පරපුරේ ව්‍යාපාරය ඔබයි. ඒ නිසා අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ ගමන යන්න අපි සමග එකතු වෙන්න.”

එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජ්‍යෙෂ්ඨ උපසභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක, ‘ජනරජ කාන්තාවෝ’ සංවිධානය නියෝජනය කරමින් නියෝජ්‍ය ලේකම් (කාන්තා කටයුතු) ප්‍රියදර්ශනී ආරියරත්න, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ශ්‍රී ලංකා ටෙලිකොම් ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාර, වෘත්තිය සමිති සභාපති අනිල් හේමන්ත නෙත්තිකුමාර, ජනරජ පෙරමුණේ ජාතික මණ්ඩල සාමාජික, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, මාලිම්බඩ වෙළෙඳ සංගමයේ සභාපති ගාමිණී ශාන්ත යන මහත්ම මහත්මීන් මෙහිදී සමුළුව ආමන්ත්‍රණය කළ අතර, ස්තූති කතාව සිදු කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක, ඉංජිනේරු චන්ද්‍රසිරි ලියනගේ මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.