මාරක රිය අනතුරකින් 3 ක් මරුට 8 ක් බරපතල තත්වයෙන් රෝහලේ

0
මාරක රිය අනතුරකින්

යාපනය මහනුවර මාර්ගයේ මාන්කුලම් පනිච්චංකුලම් ප්‍රදේශයේදී අද (15) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 8 කට බරපතල තුවාල සිදුව ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් පනිච්චිංකුලම් ප්‍රදේශයේදී එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් පසුව ලොරිය ඉදිරියේ නවතා තිබූ තිබූ තවත් ලොරියක ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.

අනතුරින් ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමේ දී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

තවද වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ද ලොරියේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.