කඩුවෙල වැවපාරේ මළසිරුර ගැන සියල්ල හෙළිවෙයි

0
කඩුවෙල වැවපාරේ

කඩුවෙල වැවපාරේ

කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක තිබී ඊයේ (02) උදෑසන කැපුම් තුවාල සහිත නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එහි විමර්ශන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසට වෙත පැවරිණි.

අනතුරුව විමර්ශන සිදුකළ එහි නිලධාරීන් අනාවරණ කරගත්තේ, අදාළ සිරුර පසිඳු චාමර මධුසංඛ නම් 28 හැවිරිදි ගොතටුව නින්දහේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ බවය.

විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, පසුගිය පළමුවනදා රාත්‍රි 8ත් 9ත් අතර දුරකතන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු විසින් ඔහුව කොහිලවත්ත, ටිබෙට් විද්‍යාලය අසලට ගෙන්වාගෙන ඇති බවයි.

පසුව අදාළ තරුණයාව ත්‍රී රෝද රථයකට බලහත්කාරයෙන් දමාගත් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, ඔහුව මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ නිවසකට රැගෙනවිත් රඳවාගෙන මුගුරකින් සහ වයරයකින් අමානුෂික ලෙස පහර දී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මස 9 වනදා පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවෙන් පලායෑමට උත්සහා කිරීමේ දී ගල්වලකින් වැටී මිය ගිය පාතාල කල්ලි සාමාජික සිරාර් නැමැත්තා හසුකරදීම සම්බන්ධයෙන් වූ මත ගැටුමක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව අදාළ තරුණයාව පැහැරගෙන ගිය කණ්ඩායමේ අයිස් මත්ද්‍රව්‍ය දැඩි ලෙස භාවිත කර සිටි දෙදෙනෙකු සිදුකළ දරුණු පහරදීමකින් ඔහු මියගොස් ඇති බවත් ඊට පසුදින උදෑසන එනම් ඊයේ දිනයේ දී තරුණයා පැහැරගෙන ඒම සඳහා යොදාගත් ත්‍රිරෝද රථයෙන්ම ඔහුගේ සිරුර කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවකට ගොස් දමා ඇති බවත් අනාවරණ වී ඇත.

ප්‍රධාන සැකකරු ඊයේ දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට ද පෙනීසිට ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සිදුකළ පුළුල් විමර්ශනය අතරතුරදී ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ සවස 6ට පමණ ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අයිස් සහ කේරළ ගංජා මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙකු වන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ බිරිඳ, ත්‍රිරෝද රථයේ රියදුරු හා මියගිය තරුණයාට පහරදුන් තවත් අයකු පැය 24ක් යෑමටත් මත්තෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එමෙන්ම සැකකරුවන් මෙම ඝාතනය සඳහා භාවිත කළ ත්‍රි රෝද රථය සහ යතුරුපැදියක් ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.

අනතුරුව ප්‍රධාන සැකකරු අද දහවල් ඝාතනය සිදුකළ ඔහුගේ නිවස වෙත රැගෙනවිත් ඇති අතර, එහිදී සැකකරු ඝාතනය සිදුකරන අවස්ථාවේ දී හැඳ සිටි ලේ පැල්ලම් සහිත කලිසමක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව පහරදීම සිදුකළ සෙසු සැකකරුවකු ද තරුණයාගේ සිරුර සොයාගත් ලඳු කැලෑව වෙත පොලිසිය විසින් රැගෙනවිත් තිබේ.

එහි දී සැකකරු විසින් මියගිය තරුණයා අවසන් වරට හැඳ සිටි කලිසමක් පොලිසිය වෙත සොයා දී ඇත.

පසුව සැකකරුවන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාදුන් බව වාර්තා වෙයි.