ඇමතිට මන්ත්‍රීට හූ කියා ජනතාව විරෝධය දක්වති

0
ජනතාව විරෝධය

ජනතාව විරෝධය

වසර 05ට වැඩි කාලයක් තිස්සේ ජනතාව භාවිතා කරමින් ඇති කැඩී බිඳී ගිය මැදිරිගිරියේ මාර්ගයක් පිළිසකර නොකර නැවත විවෘත කිරීමට පැමිණි මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රමට එම ප්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා ඇති අතර ජනතා හූ හඩ මැද ඔවුන් පලා ගොස් තිබේ.

පිළිසකර නොකරණ ලද මැදරිගිරිය නගරයේ සිට බිසෝබණ්ඩාරගම දක්වා වන එද මාර්ගය, ගෝටා ගෝගම පැවති අරගලයට පහරදීම සඳහා පැමිණ ආපසු යමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ පොහොට්ටු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ නමින් නම් කොට විවෘත කිරීම සඳහා මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම එහි ගොස් තිබී ඇත. ඒ සඳහා පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිපදෙනෙකුද සහභාගී වී සිට ඇත.

මේ වනවිට මැදිරිගිය රෝහලට ඖෂධ නොමැතිවීම සම්බන්ධයෙන් පවති දැඩි ප්‍රශ්නය පිළිබඳ සොයා බලා ඊට විසඳුම් නොදී වීවලට සාධාරණ මිලක් ගොවියාට ලබා නොදී, එම ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ හෝ කතා කර විසඳුම් ලබා නොදී ජනතාව වසර 05ක් 06ක් තිස්සේ භාවිතා කරන පාරක් නැවත නම්කොට විවෘත කිරීමෙත් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ඒ අවස්ථාවේදී ජනතාව රාජ්‍ය ඇමති සහ මන්ත්‍රී හමුවේ ප්‍රශ්න කර තිබේ.

ජනතාවගේ එම ප්‍රශ්නවලදී නිරුත්තර වූ මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ඒ අවස්ථාවේදී ජනතාවට ඔවුන්ට හූ කියා ඇත. රාජ්‍ය ඇමති සහ මන්ත්‍රී සමග පැමිණි ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිපදෙනාද ඒ අවස්ථාවේම ඉන් පිටව ගොස් තිබේ. එහි සිටි ජනතාව පවසන්නේ පක්ෂ දේශපාලනයකින් තොරව ගමක් ලෙස එක් වී මෙලෙස රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රමට විරෝධය දැක්වූ බවයි.