මෛත්‍රීපාල සිරිසේන ගේ පෙත්සමකින් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

0
මෛත්‍රීපාල සිරිසේන
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු ඉවත් වන බව දැනුම් දී ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අද ප්‍රකාශ කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එම අවස්ථාවේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න දැනුම් දුන්නේ මෙම පෙත්සම විභාග කිරීම සහ පත් කළ පංච පුද්ගල  විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මෙම නඩු කටයුත්තෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවයි.

ඒ අනුව අදාළ පුරප්පාඩුව සඳහා  අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් නම් කරන බවයි සභාපති විනිසුරුවරයා නිවේදනය කළේ.

ඒ අනුව අදාළ පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න, සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, ධම්මික ගනේපොල සහ ඩී එන් සමරකෝන් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ  ඔක්තෝබර් මස 16, 17, 18 සහ 20 යන දිනවල විභාගයට ගැනීම සඳහා දින නියම කෙරුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්  එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී මිනීමැරීම ඇතුළු චෝදනා යටතේ  සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

එම සිතාසිය නීති විරෝධී යැයි තීන්දු කොට අදාළ පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.