ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි අතුරුදන්

0

 

ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ

 

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම  වෙනුවෙන් කූඨ ලේඛන සැකසූ බව කියන ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.

ඒ, ඇය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමකයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඇය පදිංචිව සිටි බව කියන ස්ථානයට ගිය ද ඇය එහි සිට නොමැති බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් පසු හිටපු විදුහල්පතිනිය පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කෙරුණා.

එහෙත් ඇය එහි සේවයට ගොස් ඇත්තේ එක් දිනක් පමණක් බවටයි වාර්තා වන්නේ.

හිටපු විදුහල්පතිනිය ගම්පොල රෝහලකින් වෛද්‍ය වාර්තාවක් ද ලබාගෙන තිබුණත්, එය ද ව්‍යාජ බවට හෙළි වී තිබෙනවා.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් බවට සඳහන් කරමින් අදාළ වෛද්‍ය වාර්තාව ලබාගෙන තිබුණ ද ඇය රෝහල්ගතව නොමැති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම වෙනුවෙන් කූඨ ලේඛන සැකසූ බව කියන ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර ග්‍රාම නිලධාරීවරයෙකු ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගැනුණා.

සැකකාර ග්‍රාම නිලධාරීවරයා සිය බල ප්‍රදේශයේ කඩ කාමර පවා පදිංචි නිවාස ලෙස දක්වමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීම සඳහා පදිංචි සහතික නිකුත් කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වුණේ.

ඇතැම් ලිපින යටතේ පවුල් දෙකකට හෝ වැඩි ගණනකට පදිංචි සහතික නිකුත් කර ඇතැයි ද හෙළිව තිබෙනවා.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම වෙනුවෙන් කූඨ ලේඛන සකස් කිරීමේ මෙම ජාවාරම සම්බන්ධයෙන් විඝනකාධිපති වාර්තාවලින් ද කරුණු දක්වා තිබුණා.

පසුව ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වැඩ තහනමකට ලක් කෙරුණා.