තරුණියක දූෂණය කල කෝටිපති ව්‍යාපාරිකයෙක් අල්ලයි

0

තරුණියක දූෂණය

කොළඹ තරු පහේ හෝටලයකදී තරුණියක දූෂණය කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකි.

දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය ද එම ආයතනයේ සේවය කරන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරයි.

කොළඹ තරු පහේ හෝටලයක ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්, එයට පැමිණෙන ලෙස සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මෙම තරුණියට ද දැනුම්දී ඇතැයි කියති.

කෝටිපති ව්‍යාපාරිකයාගේ දැනුම්දීම මත තරුණිය ද එම තරු පහේ හෝටලයට ගොස් ඇත.

සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල් තියා වෙන් කරගෙන තිබී ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේ දොර වසා, ඇය දූෂණයට ලක්කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

තරුණිය මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කොට්ඨාසයට පැමිණිලි කර ඇත.

තරුණිය කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා, කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කරනු ලැබුවාය.

තරුණිය කැමැත්තෙන් තමා සමග පැමිණි බව සැකකරු පොලීසියට පවසා ඇතැයි ද කියති.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත, එම දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම යටතේ, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්තිකා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.