මම මේ කිසි ම දෙයකට දුක්වෙන්නේ නැහැ – ඌරුබොක්කේ ඝාතනය ගැන පෙම්වතා පාපෝච්චාරණයක

0

මම මේ කිසි ම දෙයකට දුක්වෙන්නේ නැහැ

“මම මේ කිසි ම දෙයකට දුක්වෙන්නේ නැහැ මම එයාට කරපු දේවල් මමයි දන්නේ. මට ආපු කේන්තියට මම මොනවා කළා ද දන්නේ නැහැ සර්. ඕකි ජීවත් වෙලා වැඩක් නැහැ සර්. ඕකි මරන්න ම ඕනි…”

ඌරුබොක්ක, දම්පහළ මහා විද්‍යාලයේ ආචාර්යවරියකගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතා සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරියේ එසේ පාපෝච්චාරණයක් කළේ ය.

සැකකරු සිය පෙම්වතිය මරා ගසක් උඩ නැග ගෙළ වැල ලාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා ඇති අතර පසුව පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත ඔහු ගසෙන් බැසීමෙන් පසුව අත්අඩංගුවට ගැනිණි.

“මම එයාට හැම දෙයක් ම දුන්නා. කැම්පස් යන කාලේ බෝඩිමත් හොයලා දුන්නේ මම. රස්සාවට අඳින්න සාරි අරන් දුන්නෙත් මම. අද එයා ඇඳගෙන ආවෙත් මම අරන් දුන්න සාරියක් සර්..”

“එයා මම අරන් දුන්න සාරිය ඇඳගෙන වෙන කොල්ලෙක් එක්ක යනවා මට අහුවුණා. මම කිව්වා එහෙම කරන්න එපා. ඒක නතර කරන්න කියලා. ගෙවල් දෙපැත්තෙන් ම මට කැමැති වෙලයි හිටියේ… මම ඒ සම්බන්ධය දැනගෙන එයාගේ තාත්තට ගිහින් කිව්ව සර්. තාත්තා මට බත් පිඟානෙන් ම ගැහුවා.”

ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේ කියා සිටියේ, වසර 10කටත් වැඩි කාලයක් ඇය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බව ය.

“පස්සේ පස්සේ මෙයා මාත් එක්ක කතා කළේ ම නැහැ. ෆෝන්වලට ආන්සර් කළේ නැහැ. මට ඇඟේ සුදුකබර ලෙඩේ ඇති වුණා. ඒ නිසා මට හිතුණා ඒකිට මාව එපා වුණා කියලා.

මම එයාට හැම දෙයක් ම අරන් දුන්නා. මම හම්බකරලා ගන්න සල්ලිවලින් එයාට සාරි 10ක් විතර අරන් දීලා ඇති. එහෙම කරපු මට, මාව මගඅරින්න හැදුවා.

මම එදා පිහියත් ඉණේ ගහගෙන ආවේ. එදත් මෙයා ඉස්කෝලේ ඇරිලා යනකොට ෆෝන් එකෙන් කතා කර කරයි ආවේ. මට සැක හිතුණා. මම ළඟට ගිහින් ෆෝන් එක ඉල්ලුවා. ඒත් එයා දුන්නේ නැහැ. ඒක බෑග් එකේ දාගත්තා. මට ආව කේන්තිය කියන්න බැහැ සර්. ඒකි ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතුවා.”

සැකකාර පෙම්වතා ඇයට පිහි පහර එල්ල කර ඇත්තේ ඉන් පසුවය. ඇගේ කෙස්වල්ලෙන් අල්ලා මුල් පිහි පහර ඔහු ඇගේ ගෙලට එල්ල කර ඇත. ගෙල ගැඹුරට ම කැපී ගියේ ය. ඒ සමග ම ඇය බිම ඇදගෙන වැටුණා ය. ඉන් අනතුරුව ද ඔහු ඇයට පිහි පහර දෙකතුනක් එල්ල කර තිබේ. පසුව ඔහු එතැනින් පිටව යන්නට උත්සහ කර නැවත ඇය දෙස හැරී බලා ඇත. ඇය ඒ මොහොතේ සිට ඇත්තේ අවසන් හුස්ම හෙළමින් ය. ඇය කෙරෙහි ඔහු තුළ තිබූ දැඩි කෝපය නිසාදෝ ඔහු නැවතත් පැමිණ ඇයට පිහි පහර එල්ල කර ඇතැයි විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේ ය.

හත්පොළකට පිහි ඇනුම් කා මෙසේ මියගියේ ඌරුබොක්ක, කිරිපිටිය, පොල්පැලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි සිතාරි මධුමාලි නමැති අවිවාහක තරුණියකි.

සැකකරු විසින් ඇයට පිහිපහර එල්ල කිරීමේදී ඇය මරළතෝනි දී ඇති අතර අවට පිරිස් ඇය රෝහලට ඇතුළු කරන විටත් ඇය මියගොස් තිබූ බව ද පොලිසිය කීය.

කෙසේ වෙතත්, සැකකරු ඇයට පිහි පහර එල්ල කර ඇත්තේ තව ත් මිතුරෙකු සමග මත්පැන් පානය කිරීමෙන් පසුව බවත් අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ තරුණිය පවුලේ බාලයා ය. උපාධිධාරිනියක් වූ ඇය සංවර්ධන නිලධාරිනියක ලෙස දම්පහළ මහා විද්‍යාලයේ සේවයට පැමිණ තිබේ. ඇය ඝාතනයට ලක්වන්නේ ඉකුත් 15 වන දා සහෝදරියගේ දරුවෙකුට බත් කැවීම සඳහා නිවාඩු ලබාගෙන පාසලෙන් පිටත්ව නිවස බලා ගමන් කරමින් සිටියදී ය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මාතර සහකාර පොලිස් අධිකාරි (6) ලාල් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක පතිරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.