ඔක්කොම එකට එකතු වුණත් 50%ක ඡන්ද පදනමක් නැහැ – ජනපති

0

50%ක ඡන්ද පදනමක්

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවද ජනාධිපතිවරයා පැවසීය.

තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (02) පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.

මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථික අභියෝගයට ලක්වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කරගැනීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු කළ බවත් සඳහන් කළේය.