තරුණයින් රවටා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0

 

ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා බදුල්ල ප්‍රදේශයේ තරුණයින් රවටා මුදල් ලබාගත් බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පැවසුවේ එම සැකකාරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් වංචාකර ඇති බවට පැමිණිලි 4ක් ලැබී ඇති බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මත බදුල්ල, දෙමෝදරදී මෙම කාන්තාවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් දෙදෙනා මේ වන විට බදුල්ල පොලිස් ස්ථානයේ රඳවා තබා ඇති අතර, හෙට (27) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ සැකකාරියන්ට අමතරව මෙම විදේශ රැකියා වංචාව හා සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳවද පැමිණිලි ලැබී තිබෙන බවද එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.