බෝතලේ මිල අඩුවෙයිද? වැඩිවෙයිද?

0

බෝතලේ මිල

ලබන මාසයේ සිට අරක්කු සහ බියර්වල බෝතලේ මිල අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බවට රාවයක් දිවයින පුරා පැතිර ගොස් ඇත. ඒ හේතුවෙන් මේ දිනවල මත්පැන් අලෙවිය සියයට 20ක පමණ ප්‍රමාණයකින් අඩුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. එයට හේතුව ජූනි මාසයේදී අඩු මිලට මත්පැන් ගත හැකි බව සලකාගෙන පාරිභෝගික ජනතාව මත්පැන් මිලට ගැනීම සීමාකර තිබීමය. මංගල සහ වෙනත් උත්සව සඳහා මත්පැන් මිලට ගැනීමට සූදානම්ව සිටින අය මාසය අවසන් වනතුරු බලා සිටීම මෙයට හේතුවයි.

පසුගිය සතියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් අතර හමුවක් පැවතුණි. එහිදී මත්පැන් බදු පසුගිය සමයේ විශාල ලෙස ඉහළ නැංවීම නිසා පාරිභෝගිකයාට දරාගන්නට බැරි තරමට මිල වැඩිවීමෙන් අලෙවිය සියයට 40 කින් පමණ පහළ ගොස් ඇති බව අනාවරණය විය. මෙම වසර ආරම්භයේ සිට මත්පැන් හා බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බවට නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යංශයට පැමිණිලි කර තිබේ. මේ තත්ත්වයට පිළියම් නොයෙදුවහොත් පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් ස්වකීය කර්මාන්ත කඩා වැටීමට ඉඩ ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ආයතනවලින් යැපෙන දහස් සංඛ්‍යාත පිරිසකගේ රුකියා අහිමි වී ඔවුන්ගේ ජීවනෝපායවලට පහර වැදීමට ඉඩ ඇති බවටද අනතුරු හැඟවීමක් සිදුවිය. ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ සුරා බද්ද රුපියල් 2000 පමණ අඩු කිරීමට කටයුතු කිරීම සුදුසු බවය.

නීත්‍යානුකූල මත්පැන්වල මිල දරාගත නොහැකිවීම නිසා ජනතාව හොරට පෙරන මත්පැන්වලට යොමුව ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකද සඳහන් වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයද පවසන්නේ විෂ මත්පැන්වලට යොමුවීම නිසා ජනතාව විවිධ රෝගාබාධවලට ගොදුරු වී ඇති බවය. ආරෝග්‍ය ශාලාවලට පැමිණෙන ජනතාවට බෙහෙත් හිඟය නිසා නිසි ප්‍රතිකාර කළ නොහැකි අතර ඔවුන් පෞද්ගලික ඔසුසල්වලට යොමු කිරීමට සිදුවීම නිසා ඇතැමුන් බෙහෙත් ගැනීමට වත්කමක් නැතිවීමෙන් ජීවිතවලට පවා තර්ජනයක් ඇතිවී තිබෙන බව අනාවරණය විය.

අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා සීනි සමාගමෙන් නිෂ්පාදනය කෙරෙන එතනෝල් යොදාගන්නා නමුත් පසුගිය දිනවල එතනෝල් අලෙවි නොවීම නිසා එතනෝල් ලීටර් ලක්ෂ 15ක් පමණ අලෙවි කරගත නොහැකිවීමේ ගැටලුවක් පැනනැගී ඇති බවද කියැවේ. මේ නිසා සීනි සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය ඇහිරීම හේතුවෙන් දුෂ්කරතාවලට පත්ව ඇති අතර එතනෝල් ලීටරය රුපියල් 1000 දක්වා මිල අඩු කිරීමට සමාගම තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ.

මේ පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුවේ අතිරේක සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පැවසුවේ සුරාබදු අඩුකරන ලෙස ස්වකීය දෙපාර්තමේන්තුව මෙයට පෙර කිහිප වතාවක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇති නමුත් ප්‍රතිඵලයක් ලැබී නැති බවය. මත්පැන් බෝතලය මිලෙන් සියයට 85-90 පමණ ඇත්තේ සුරා බදු සහ විවිධ බදු වර්ග බව ඔහු පැවසූ අතර බදු අඩු වුවහොත් මිලද අඩු වීමෙන් අලෙවිය වැඩිවිය හැකි බව කීවේය. එසේම වර්තමානයේ විවිධ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් පාරිභෝගිකයා ගැටලු රුසකට මුහුණ පා ඇති අතර මත්පැන් මිල ඉහළ දැමීමද ඔවුන්ගේ ගැටලු උත්සන්න වීමට හේතුවන බව ඔහු කීවේය.

කෙසේ වුවද මත්පැන් මිල අසීමිත ලෙස ඉහළ යාමෙන් මිලදී ගැනීම අඩු වී රජය බලාපොරොත්තු වන ආදායම් මට්ටමට ළඟාවීමට නොහැකි වන බව මැදහත් විෂ්ලේෂකයන්ගේ අදහස වෙයි. එසේම නීත්‍යානුකූල මත්පැන්වල මිල අඩු කළ විට එයට සමානුපාතිකව අවිධිමත් ලෙස පෙරන මත්පැන්වල මිලද අඩු වන බව ඔවුන්ගේ අදහස වේ. ඒ නිසා විෂ මත්පැන් මර්දනය කිරීම සඳහා නීතියෙන් අනුමත කර නිෂ්පාදනය කරන මත්පැන්වල මිල අඩු කිරීම විසඳුමක් වේද යන්නද සැක සහිත වෙයි. එසේම ආගමික සහ සංස්කෘතික දෘෂ්ටියෙන් බලන වැඩිදෙනා මත්පැන් මිල පහළ හෙලීම පිළිබඳ විවේචන එල්ල කිරීම නිසා මෙය සමාජ ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩ ඇති බවට විශ්වාසය පළ වේ. අනික් අතට සෑම පාරිභෝගික ද්‍රව්‍යයකම මිල වැඩිවෙමින් පවතින වාතාවරණයක මත්පැන් මිල අඩු කිරීමට කටයුතු කළහොත් එය පිළිබඳ රජය දෝෂාරෝපණයට ලක්විය හැකි බවටද අනතුරු හැඟවේ. එසේම බදු අඩු කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමට අපහසු කාර්යයක් විය හැකි බවට අනතුරු හැඟවේ.

මේ තත්ත්වය මත මත්පැන් මිල පහළ හෙලීමට රජය කටයුතු කරාවි යැයි සිතීම උගහට බව දැනගන්නට තිබේ.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ රටේ විෂ මත්පැන් පාරිභෝජනය කරන සංඛ්‍යාව මුළු මත්පැන් බොන අයගෙන් සියයට 10ක් පමණ සුළු සංඛ්‍යාවක් බවයි. එයට වඩා විශාල හානියක් නීත්‍යනුකූල මත්පැන් ගන්නා සියයට 90කගෙන් සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

”අද රටේ ආදායම අඩුවීම අරක්කුවලට පමණක් නොවෙයි සෑම පාරිභෝජන මට්ටමකම සිදුවන්නක්. රටේ දුර්වල ආර්ථික තත්ත්වය අනුව බොහෝ දෙනකුට පාරිභෝජනය අඩු කරන්න සිදුවෙලා තියෙනවා. සෑම ආහාර ද්‍රව්‍යයක්ම අලෙවි වන ප්‍රමාණය පහළ බැහැලා. ආදායම අඩුවෙලා. එය මත්පැන්වලට පමණක් බලපානවා කියන කතාව පිළිගන්න බැහැ.

මද්‍යසාර වෙනුවට විෂ මත්පැන් පාරිභෝජනයට ලොල්වීම සියයට 10කට වඩා අඩු මට්ටමකයි තියේනනේ. බියර් බොන අය කවදාවත් බියර් අතහැරලා කසිප්පුවලට යන්නේ නැහැ. අනිත් මත්පැන් වර්ගත් එහෙමයි. මෙහිදී සමාජ තත්ත්වයේ වෙනස බලපානවා. විෂ මත්පැන් බොන අය සමාජයේ පිළිකුළට භාජනය කරන අතර ”කසිප්පුකාරයා” කියලා නම් පට බැඳෙනවා. ඒ නිසා නව පරපුරේ අය වුණත් ”ගමේ බඩුවලට” යොමුවෙන ප්‍රවනතාව අඩුයි.

අනවසර මත්පැන් නිසාම සෞඛ්‍ය ගැටලු වැඩිවෙන බව පැවසීම පිළිගන්න අපහසුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ අනුව එය තහවුරු කර තිබෙනවා. මත්පැන් නිසා ලෙඩ රෝග වැඩිවන බව ඇත්ත. එහෙත් එය අනුමත මත්පැන්වලින් අඩුයි. අනවසර මත්පැන්වලින් වැඩිය කියලා කොටස් කර පෙන්වන්න අපහසුයි. මද්‍යසාර නිත්‍යනුකූල හා නිත්‍යනුකූල නොවන ලෙස රේඛාවකින් වෙන්කරන්න බැහැ. වරද නිත්‍යනුකූල නොවන මත්පැන් මත පැටවීමෙන් කරන්නේ පට්ටපල් බොරුවක්.

සමස්ත රාජ්‍ය ආදායමෙන් මත්පැන් බදු සියයට 11යි. දුම්වැටි බදු ආදායම සියයට 7යි. මේ මුළු සියයට 18න් සියයට 40ක් අඩුවෙලාය කියන එක සුළු අඩුවීමක්. ඒ නිසා මත්පැන් මිල වැඩිවෙලා බදු ආදායම පහළ යාම නිසා සමස්ථ ආර්ථිකයට සිදුවන බලපෑම අඩුයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව අනුව 2019 වසර දක්වාම නිවැරදි දත්ත ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ඉන්පසු වාර්තාවල ඇතැම් තොරතුරු වසංගලා තිබෙන බව පෙනෙනවා. නිවැරදි තොරතුරු දීම අඩුයි. එයට හේතුව ජනතාව බොරුවෙන් රවටා තම සිතැඟි ඉටුකර ගැනීමයි. මෙලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම නිසා නිවැරදි ප්‍රතිපත්තිවලට එළඹීම දුෂ්කර වෙනවා. බලධාරීන් ගන්නා තීරණ වැරදි බවට පත්වෙනවා. සියල්ලන් නොමඟ යනවා.

මත්පැන් නිෂ්පාදනයේදී සැර මත්පැන්වලට රුපියල් මිලියන 497ක් බියර්වලට මිලියන 63ක් පමණ වැයවෙනවා. මද්‍යසාර නිෂ්පාදන සමාගම්වල එක් උපක්‍රමයක් වෙන්නේ ආණ්ඩුවට බලපෑම් කරලා මිල පහළ දමා තමන්ගේ ආදායම වැඩිකර ගැනීමයි. ඕනෑම භාණ්ඩයක මිල අඩුකර බද්ද ඒ ප්‍රමාණයේම තබාගත් විට ආදායම මට්ටම ඉහළ යනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ රජයේ බදු ආදායම අඩුවී සමාගම්වල ආදායම වැඩිවීමයි. මිල අඩුවූ විට සිදුවන්නේ රජයේ ආදායම අඩුවීම සමගම සෞඛ්‍ය වියදම්ද වැඩිවීමයි.

මත්පැන් අලෙවි කරන ස්ථාන වැඩි කරන්නේ විදේශිකයන් සඳහා පහසුකම් දීමට අවශ්‍ය බව කියමින්. එහෙත් සංචාරකයන් සමග මෙහි ඇති සම්බන්ධයක් නැහැ. දේශපාලකයන්ගේ අවශ්‍යතාවලටයි මෙය කරන්නේ. මිල අඩු කිරීමට යනවා කියන දෙය ප්‍රායෝගික නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් දී තිබෙන්නේ ලබන ජූනි මාසය අවසානය වනවිට මද්‍යසාර සහ දුම්වැටි බදු ප්‍රතිශතය ඉහළ දැමිය යුතු බවටයි. මේ වසර අග වනවිට මද්‍යසාර සහ දුම්වැටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතු බවද පවසා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී මිල ඉහළ යාම වළක්වන්න බැහැ. අනිත් අතට නිත්‍යානුකූල මත්පැන්වල මද්‍යසාර ප්‍රතිශතය සියයට 33-40 අතර තිබෙනවා. හොර මත්පැන්වල එයට අඩුයි. ඒ නිසා ඒවා වැඩිපුර පාරිභෝජනය කරන්න සිදුවෙන නිසා ඒවාට නැඹුරුවන අය අඩුයි.

දොස්තර ජයමාල් ද සිල්වා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මත්ද්‍රව්‍ය විශේෂඥ කමිටුවේ කැඳවුම්කරු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.

”2015 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, නාසා ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව මත්පැන් සහ මත්ද්‍රව්‍යවල ආදායම සහ වියදම පිළිබඳ සමීක්ෂණයක් කළා. එහිදී රජය සහ වෙනත් පාර්ශ්ව මෙහි ආදායම සහ වියදම පිළිබඳ ඉදිරිපත් කරන තොරතුරු ව්‍යාජ ඒවා බව හෙළිවුණා. මෙහිදී සිදුවන මානසික සහ සමාජයීය හානිය අතහැර සලකා බලනවිට මත්පැන් නිසා සිදුවන රෝග වළක්වා ගැනීමට හා රෝග වැළඳුණු විට සිදුකරන ප්‍රතිකාරවලට වැයවන මුදල එයින් ලැබෙන බදු ආදායමට වඩා වැඩි බව සොයාගෙන තිබෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා සමාජමය ගැටලු රුසකට මුහුණ දෙන්න සිදුවෙනවා. මානසික ගැටලු, පවුල් අවුල්වීම්, දැරියන් අපයෝජනයට ලක්වීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, සමාජයෙන් කොන්වීම හා අවසානයේදී රෝගවලට භාජනය වී අකාලයේ මියයාම දක්වා අහිතකර වෙනවා. ආර්ථික තත්ත්වය පහළ යාමට වඩා සෙසු හානි වැඩියි.

අනික් අතට මත්පැන්වල මිල අඩු කළ විට නීති විරෝධී මත්පැන් භාවිතය අඩුවේ යැයි යන තර්කය පිළිගන්න බැහැ. නීති විරෝධී මත්පැන් විශාල ලෙස නිෂ්පාදනය කරනවා නම් ඒවා අත් අඩංගුවට පත් නොවන්නේ ඇයිද? විශාල ලෙස නිෂ්පාදනය කරන ස්ථාන සොයන්න බැරි ඇයිද? අනවසර මත්පැන් නිෂ්පාදනය කරන්නේ රහසිගතවයි. ඒත් ඉතා සුළු ප්‍රමාණයක්. එසේම ඒවා බොන අයද සමාජයේ නිග්‍රහයට, අවඥාවට භාජනය වන නිසා බොන අය අඩුයි. ඒවාට නීතිමය මත්පැන් සමග කිසිවිටෙකත් තරග කරන්න අපහසුයි. ඒ නිසා මත්පැන් මිල අඩුකළ විට නීති විරෝධී මත්පැන් අඩුවේය යන තර්කය පිළිගන්න බැහැ. පෙර සිදුවූ සිද්ධි පූර්වාදර්ශ ලෙස ගන්න පුළුවන්.

මත්පැන් මිල අඩුකළ විට සිදුවන්නේ එයට සමාන්තරව අනවසර මත්පැන්වල මිලද පහළ යාමයි. නිතරම අඩු මිලටයි ඉල්ලුම වැඩිවන්නේ. ඒ නිසා මත්පැන් මිල පහත දමලා විෂ මත්පැන් ව්‍යාප්තිය අඩුකරනවා කියන එක පිළිගත නොහැකි තර්කයක්. බියර්වල මිල අඩුකළ විට බනිස් ගෙඩි දෙකක් ගන්න සල්ලිවලින් බියර් කෑන් එකක් ගන්න හැකිවෙනවා. මෙහිදී බියර්වලට ඇබ්බැහිවන අය වැඩිවෙනවා. මිල අඩු කිරීම එම අංශයට ප්‍රවිෂ්ට වීමට ද්වාරයක් (Geteway) වෙනවා. ඒ නිසා වර්ධනය වෙනවා.

මත්පැන් සමාගම් කරන්නේ රජය බළල් අතක් බවට පත් කරගෙන මිල අඩුකරලා තමන්ගේ ආදායම වැඩිකර ගැනීමයි. මෙයින් සමාගම්වල ආදායම වැඩිවෙනවා මිස බදු ආදායම වැඩිවෙන්නේ නැහැ. මත්පැන් ප්‍රචලිත කරලා සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කරගන්නවා යන්නද බොරු තර්කයක්. උදාහරණයක් ලෙස ගතහොත් මාල දිවයිනේ සුරාසල් අඩුයි. එහෙත් වැඩියෙන් සංචාරකයන් එනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මත්පැන් බොන්නට එනවා යැයි කියන කතාව පුහු තර්කයක් විතරයි. ඔවුන් එන්නේ රටේ සංචාරය කර දර්ශනීය තැන් නරඹා ආශ්වාදය ලැබීමටයි. එහෙම නැතුව හෝටල්වලට කොටුවෙලා මත්පැන් බි බී ඉන්න නොවෙයි. ලක්ෂ දෙකක පමණ සංචාරකයන් පිරිසක් තමයි අපේ රටට එන්නේ. මිලියන 19 පමණ වන ශ්‍රී ලංකා වැඩිහිටියන් තමයි මත්පැන් බීමට සම්බන්ධ වෙන්නේ. එය විදේශිකයන්ට බැර කරන්න බැහැ.

ඒ නිසා විවිධ හේතු ඉදිරිපත් කරමින් මත්පැන් මිල අඩුකරනවා නම් එයින් සිදුවන සෞඛ්‍ය හානිය සහ සමාජ සහ ආර්ථික සෝදාපාළුව වැඩි බව හිතාගත යුතුයි. මෙම තත්ත්වයට පත්වූ විට එය යථා තත්ත්වයට ගැනීමට දැඩි අපහසු බව අවධාරණය කරනවා.

යසවර්ධන රුද්රිගු