රට බංකොලොත් නිසා ආගමික ස්ථාන වල කිසිම සංවර්ධනයක් නෑ – සජිත්

0

අද වන විට රට ආර්ථික වශයෙන් බංකොලොත් වී මහජනතාවගේ ජන ජීවිත කඩා වැටී ඇති බවත්, එමෙන්ම සර්ව ආගමික මධ්‍යස්ථානවල අභිවෘර්ධියටද කටයුතු සිදු නොවන වාතාවරණයක් ගොඩනැගී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවන් තත්ත්වයක් තුළ “සසුනට අරුණ” වැඩසටහන තුළින් බෞද්ධාගමික සිද්ධස්ථාන අලුත්වැඩියා කිරීමත්, කිතුණු මඟට සවියක්, මස්ජිදක පුදුකුලිව්, ධර්මතින් ඔලි වැනි වැඩසටහන් තුළින් අනෙකුත් ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරිමට විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එය දරුපරපුරත්, වැඩිහිටියාත් සාමාජිය වශයෙන් යහපත් ආකල්ප සඳහා යොමු කිරීමට ශක්තිමත් පාලමක් ගොඩනැගීමට හේතුවන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එලෙසම යහපත් මෙන්ම නිරෝගී සමාජයක් ගොඩනැගීම සඳහා ඉවහල්වන, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා “සක්වල” හා “හුස්ම” වැඩසටහන් මගින් විපක්ෂයක් ලෙස සුවිශාල කාර්යභාරයක් සිදුකරමින් සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේය.

මෙවන් වැඩසටහනක් තුළින් තමන් අපේක්ෂා කරන්නේ රට ගොඩගැනීම බවත්, රට ගොඩගැනීමට සඳහා සුවිසල් බලාපොරොත්තුවක් සමගි ජන බලවේගය සතු බවත්, ඒ සඳහා තොරතුරු තාක්ෂණික සහ අපනයන කේන්ද්‍රීය ව්‍යාපෘති තම කණ්ඩායම හඳුනාගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කලේය.

සසුනට අරුණ වැඩසටහනට යටතේ, කොරකහයාය, මහකුඹුක්කඩවල ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු චෛත්‍යරාජයාණන් වහන්සේ (04) සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කරන ලදී