කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ

0
BLACK FUNGUS - කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ

ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන බ්ලැක් ෆන්ගස් හෙවත් කළු දිලීර ආසාදන තත්ත්වය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රාන්ත හතක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර, අම්පාර ප්‍රදේශයෙන් ද, කළු දිලීර ආසාදිතයකු වාර්තා වූ බවට විවිධ වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදි සෞඛ්‍ය අංශ තහවුරු කළේ එවන් ආසාදිතයකු වාර්තා වී නොමැති බවයි.

කොරෝනා ආසාදනය වී ප්‍රතිශක්තීකරණය දුර්වල වූ රෝගීන්ට වැඩිවශයෙන් වැළඳෙන බ්ලැක් ෆන්ගස් නම් දිලීර ආසාදන තත්ත්වය ඉන්දියාවෙන් බහුලව වාර්තා වූයේ අප්‍රේල් මස අග භාගයේදී.

මේ වනවිට මෙම දිලීර ආසාදන තත්ත්වය ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර, දිලීර ආසාදිත රෝගීන් දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා.

මෙම දිලීර ආසාදනයෙන් 90 දෙනෙකු පමණ දැනට මියගොස් ඇති අතර, එය සැලකිල්ලට ගිනිමින් ඉන්දියාවේ රාජස්ථාන්, ගුජරාට්, උත්තර් ප්‍රදේශ් සහ ඔඩීෂා ඇතුළු‍ ප්‍රාන්ත මෙම දිලීර ආසාදන තත්ත්වය වසංගතයක් ලෙස නම් කිරීමට පියවර ගත්තා.

මෙවන් තත්ත්වයක් මත කළු දිලීරය අසාදනය වූ පුද්ගලයෙකු අම්පාරෙන් වාර්තා වු බව විවිධ ප්‍රචාරයන් පැතිරී ගියා.

කෙසේ වෙතත් එය අසත්‍ය ප්‍රචාරයක් බව අම්පාර දිස්ත්‍රික් රෝහලේ ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය උපුල් ප්‍රියදර්ශන ප්‍රකාශ කළා. ආදාළ රෝගියා 39 හැවිරිදි  පුද්ගලයකුවන අතර ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

එමෙන්ම, කොරෝනා වෛරසය සමග ඉන්දියාවේ පැතිර යන මාරාන්තික විය හැකි කළු පුස් රෝගයට අපිරිසිදු මුව ආවරණ ද බලපෑ ඇති බවට මතයක් ඉදිරිපත් වී තිබෙනවා.

වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ අපිරිසිදු මුව ආවරණ දිගු කලක් භාවිත කිරීම මෙන්ම, හොඳ වාතාශ්‍රයක් නොමැති වීම මෙම රෝගය ඇති වීමට හේතුවක් බවයි.

කෙසේ නමුත්, ඒ සඳහා ඔප්පු කළ හැකි සායනික සාධක නොමැති බවට තවත් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් තරඟ කරනවා. ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ උත්තේජක වර්ග අනිසි ලෙස භාවිත කිරීම ද කළු පුස් රෝගය ඇති වීමට හේතුවක් බවයි. එමෙන්ම, කොරෝනා ආසාදනය නිසා ශරීරයේ ප්‍රතිශක්තිය බෙහෙවින් දුර්වල වීම නිසා ද, කළු පුස් රෝගයට ගොදුරු විය හැකි බව ඇතැම් වෛද්‍යවරුන්ගේ මතයයි.