කොවිඩ් 19 වාතයෙන් බෝවන බව ඇමෙරිකානු රෝග පාලන ආයතනයත් තහවුරු කරයි

1
කොවිඩ් 19

කොවිඩ් 19 වෛරසය මිනිසුන් අතර ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ වාතය හරහා බවත්, එමගින් අඩි 6 කට වැඩි දුරකින් සිටින පුද්ගලයෙකුට පවා ආසාදනය සිදුවිය හැකි බවත්, සී.ඩී.සී හෙවත් ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.

මීට පෙර බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාව මගින් ද මේ බව තහවුරු කර තිබුණා.

ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කළේ ආසාදිත පුද්ගලයෙකුගේ ප්‍රශ්වාසයේදී වාතයට එක්වන සියුම් අංශු මගින් අඩි තුනේ සිට 6 දක්වා දුරින් සිටින පුද්ගලයන්ට වෛරසය ආසාදනය විය හැකි බවයි.

ඇතැම් විට ආසාදිත පුද්ගලයෙකු රැදී සිටි ස්ථානයක වාතයෙහි යම් කාලයක් වෛරසය රැදී තිබිය හැකි බව ද එමගින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් අතර කායික දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, ප්‍රමාණවත් වාත්‍රාශයක් පවත්වා ගැනීම සහ ගෘහස්ථව පුද්ගලයන් ඒකරාශි නොවීම කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට වැදගත් වන බව සී.ඩී.සී. ආයතනය සඳහන් කළා.

මේ අතර, ඉන්දියාවෙන් නැවතත් පැය 24 ක් තුල, කොරෝනා මරණ 4092 ක් වාර්තා වූ අතර, දෛනික ආසාදිත සංඛ්‍යාව පස්වන දිනටත් හාර ලක්ෂය ඉක්මවූවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට නව කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 71 ක් ප්‍රාන්ත 10 කට කේන්ද්‍ර ගත වී ඇති බවයි. මහාරාෂ්ට්‍ර, කර්නාටක සහ දිල්ලි ප්‍රාන්ත ඒ අතුරෙන් ප්‍රධානයි.

මීට අමතරව, කේරළ, තමිල්නාඩු, උත්තර් ප්‍රදේශ්, ආන්ද්‍ර ප්‍රදේශ්, බටහිර බෙංගාල, රාජස්ථාන් සහ හර්යානා ප්‍රාන්තවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ රෝහල් වල ඔක්සිජන් සැපයුම සහතික කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ කාර්ය සාධක බලකායක් ද පත් කරනු ලැබුවා.

කෙසේ නමුත්, තවමත් ප්‍රමාණවත් පහසුකම් නොලැබීම හේතුවෙන් ඉන්දීය රජය කොරෝනා ආසාදිතයින්ට උපදෙස් දෙන්නේ හැකිතාක් දුරට රෝහල් ගත වීමෙන් වළකින ලෙසයි. කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීම ද ගැටලුකාරි වී ඇති අතර එක් ඉන්දීය රූපවාහිනි සේවාවක් සඳහන් කළේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ බවට සැලකිය හැකි මළ සිරුරු යමුනා නදියේ පා වෙමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ බවයි.